අඩි 4ක් උස ජේසන්  කිලෝ 4ක් බර  යගුළිය විසි කරයි

 

බහරේනයේ මනමා නගරයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම  පිටත්ව යයි. ලබන මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වෙන මේ ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 8ක් සහභාගී වන අතර, ඔවුන් භාරව නිලධාරීහු 6ක් එක්ව සිටිති. ආසියා රටවල් 32ක අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රිඩිකාවන් 800ක් පමණ මේ ක්‍රීඩා උලෙළට එක් වන අතර, ක්‍රීඩා 9ක් ඇතුළත්ය.

ජනනි ධනංජනා වික්‍රමසිංහ (මීටර් 100 හා 200 එක් අතක් අහිමි T46 කාණ්ඩය), මොහොමඩ් සෆ්රාන් (දුර පැනීම එක් අතක් අහිමි T46 කාණ්ඩය), ඉසුරු හංසක උදයංග (මීටර් 100 හා 200 එක් අතක් අහිමි T47 කාණ්ඩය), රවිදු චිරංජය (මීටර් 100, 200, 400 පූර්ණ දෘශ්‍යාබාධිත T11 කාණ්ඩය), පන්සිළු පසන් (මීටර් 100, 200, 400 රවිදු චිරංජයට දිවීමේ සහායක), නවිඩ් රශීන් රහීම් (පිහිනුම් නිදහස් ආර පාදයේ මාංස පේශී ආබාධ S10 කාණ්ඩය), ගලීනා කාමෙල් බස්නායක (පිහිනුම් නිදහස් ආර පාදයේ මාංස පේශී ආබාධ S10 කාණ්ඩය), ජේසන් ජයවර්ධන (කවපෙත්ත, යගුළිය විසි කිරීම සෙන්ටිමීටර් 130ට අඩු උස ක්‍රීඩක T/F41 කාණ්ඩය) ශ්‍රී ලංකා යොවුන් පැරා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

මේ කණ්ඩායමේ සිටින කාගේත් වැඩි අවධානයක් හිමිව ඇති උසින් අඩුම ක්‍රීඩක ජේසන් ජයවර්ධන පවසන්නේ ආසියානු පැරා ක්‍රීඩා උලෙළ තම පළමු අත්දැකීම වුවද විශාල විශ්වාසයකින් පසු වන බවයි.

“ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීම එකම බලාපොරොත්තුවයි. අපේ කණ්ඩායම හොඳ කණ්ඩායමක්. මා ගේට්වේ පාසලේ අධ්‍යාපනය ලබන්නේ. දවසක් සීආර් ක්‍රීඩාංගණයට ගියාම එහි සිටි පුහුණකරුවකු මගෙන් ඇහුව්වා ක්‍රීඩා කරන්න කැමැති ද කියලා. මා කැමැතියි කිව්වා. යගුලිය විසි කිරීම දැන් මගේ හොඳම ඉසව්ව. මා මීටර් 7කට වැඩිය දුර යගුලිය විසි කරනවා. තවත් දියුණු කර ගන්න අවශ්‍යයි” ජේසන් ජයවර්ධන පැවසීය. වයස 16ක් වූ ජේසන්ගේ උස සෙන්ටිමිටර් 128 (අඩි 4.1) වන අතර ඔහු විසි කරන යගුළියේ බර කිලෝග්‍රෑම් 4කි.

ආසියානු පැරා ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ප්‍රියන්ත පීරිස් මහතා කටයුතු කරන අතර, ලසන්තා ශ්‍රියාකාන්ති මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය වේ. ජුලියන් බෝලිං මහතා පිහිනුම් ක්‍රීඩා පුහුණුකරු, නලින්ද සෙනරත් මහතා මලල ක්‍රීඩා පුහුණුකරු හා දුමීර මදුරංග මහතා අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිත මෙන්ම පාසල් මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස එක් වෙති. කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස ආර්.ඩී.අයි. බස්නායක මහතා කටයුතු කරයි.