පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ කකුලක් කපා දමයි

  • අසේල විතාන

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගත කෙරුණු අතර අනතුරුව ඔහුට කළ ශෛල්‍ය කර්මයකදී දකුණු පාදය කපා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
බන්දුල වර්ණපුර මහතා දරුණු දියවැඩියා රෝගයෙන් පෙළීම නිසා ඔහුගේ පාදයේ ඇති සංකුලතා ඉවත් කරමින් ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් මෙම තීරණය ගෙන ඇත
1982 දී ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට එංගලන්තය සමග පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සහභාගි වන කණ්ඩායමේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුර මහතා අනතුරුව පුහුණුකරුවකු කළමණාකරුවකු මෙන්ම ක්‍රිකට් තරග තීරකවරයකු වශයෙන්ද කටයුතු කරන ලදී මෙරට පළමු ටෙස්ට් ලකුණේ හිමිකරු මෙන්ම පළමු එක්දින තරගය ජයග්‍රාහී කළ නායකයාද වන්නේ බන්දුල වර්ණපුර මහතාය. ශ්‍රී ලංකන් ටයිම්ස් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වර්ණපුර මහතා සිය ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් අතීතයේ කළ සාකච්ඡාවක් පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණේ හිමිකරු වූ වර්ණපුර බිය වෙයි
රටක පළමු ටෙස්ට් නායකයා වීම කොතරම් භාග්‍යයක්ද. එම තරගයේ මංගල පන්දුවටම පහර දෙන්න ලැබීම තවත් දුර්ලභ අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණ පුර මෙම දුර්ලභ අවස්ථාව නියෝජනය කළ ඓතිහාසික ක්‍රිකට් තරුවකි. අවාසනාවට ඔහුගේ ක්‍රිකට් දිවිය පළමු ටෙස්ට් තරගයෙන් පසුව මාස හතකදී නිමා වුයේ තහනම් දකුණු අප්‍රිකානු සංචාරය හේතුවෙනි.
1982 පෙබරවාරි 17 වැනි පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය හිරු රශ්මියෙන් ආලෝක වෙද්දී එංගලන්ත ක්‍රිකට් නායක කිත් ෆ්ලෙචර් සමග කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි බන්දුල වර්ණපුරගේ ක්‍රිකට් දිවියේ නොඇසු කතා ගොන්නක්ම ඔහු ‘අපි නොදන්න ක්‍රිකට්’ කෘතියට පවසා සිටියේය. මාස හතකින් ජාත්‍යන්තර ක්‍රිකට් වේදිකාව ඔහුට තහනම් වුවත් තරග තීරකවරයෙක්, විනිසුරුවරයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස පසුකාලීනව වර්ණපුර ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ විය.
“මට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබුණේ 1979 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සෙ. 79 ලෝක කුසලාන තරගාවලියේ මම උපනායකයා විදිහට කටයුතු කළා. අපේ නායකයා වූ අනුර තෙන්නකෝන් විශ්‍රාම ගියාට පස්සෙ මට නායකත්වය ලැබුණා. කොහොම හරි අපේ පළමු ටෙස්ට් තරගයේ නායකයා කවුද කියලා තෝරන්න පොඩි අවුලක් තිබ්බා. පළමු ටෙස්ට් තරගයේ මට නැතිව වෙන කාට හරි දෙන්න ඕන කියන මතකයේ කට්ටියක් හිටියා. කොහොම හරි දුලිප් මෙන්ඩිස්ටද මටද නායකත්වය දෙන්නෙ කියන ගැටලුව තමයි එතනදි මතු වුණේ. ඔය ගැටලු ඉතින් සාමාන්‍ය දේවල්නෙ. තමන්ගේ පාලකයන්ට කණ්ඩායමේ නායයාව පාලනය කරන්න බැහැ කියලා තේරුණහම ඔවුන්ගේ තීරණවලට අවනත වෙන්නෙ නැතිවුණහම තමයි ඔය වගේ ගැටලු එන්නෙ. අද වගේම එදත් ඒ ගැටලු තිබ්බා.”
“පළමු ටෙස්ට් තරගයට 55 ක සංචිතයක් නම් කළා. එතනින් හොඳම 15 හෝ 20 තෝරන එක නෙමෙයි අපිට එදා ප්‍රශ්නය තිබ්බෙ පළමු ටෙස්ට් තරගයේ අන්තිම එකළොස් දෙනා තෝරන එක. තරගයට පෙර දිනයේ අපි 10 දෙනෙක් තෝරලා තිබ්බා. ඒ දහදෙනා අතර පාසල් ක්‍රීඩකයකු වු අර්ජුන රණතුංගත් හිටියා. ඔහු ඒ කාලෙ පාසල් තරගවලදී හොඳින් දක්ෂතා පෙන්නලා තිබුණ ක්‍රීඩකයෙක්. ගොඩක් කට්ටිය එදා හිතුවෙ අන්තිම ප්ලේස් එකට තරගෙ තිබ්බෙ අර්ජුන රණතුංග සහ අනුර රණසිංහ අතර කියලා. නමුත් අන්තිමට ප්ලේස් එකට තරගය තිබ්බෙ අනුර රණසිංහ සහ ලලිත් කළුපෙරුම අතරයි. තරගයට සුමානයකට කලින් ඉදලම අර්ජුන රණතුංග පළමු දහදෙනා අතර හිටියා.”
“පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එකළොස් වැනි ක්‍රීඩකයා තෝරාගන්න තිබ්බෙ තරගය දවසෙ උදේ. ඒ තේරීම කරන්න හිටියේ මමයි තේරීම් කමිටු සභාපති කේ.එම්.ටී. පෙරේරායි. එතනදි අපි තීරණය කළා දඟ පන්දු යවන්නෙක්ද ක්‍රීඩා කරන්නෙ කියලා. ඒ වෙනකොට ඩී.එස්. ද සිල්වා සහ අජිත් ද සිල්වා දඟ පන්දු යවන්නන් ලෙස හිටිය හින්ද පිට දඟ පන්දු යවන්නෙක් ලෙස කළුපෙරුම යොදාගත්තා.
අනුර රණසිංහ සහ බර්නාඩ් පෙරේරා ඒ කාලේ හොඳට සෙල්ලම් කරපු ක්‍රීඩකයන් නමුත් ඒ වෙනකොට මැද පෙළ බැට් කරන්න රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස් සහ රන්ජන් මඩුගල්ල වගේ හොඳ ක්‍රීඩකයන් හිටිය නිසා ඔවුන්ට එතනට එන්න කවුරු හරි ඉවත් වෙනකම් බලන් ඉන්න සිදු වුණා. ඕකට ඉතිං වාසනාවත් තියෙන්න ඕන.
“ඒ කාලෙ තරුන කට්ටියව අනාගතය සඳහා යොදා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා. ඒක අපේ හිත්වල තිබ්බ හින්ද තමයි අර්ජුන රණතුංගට පාසල් කාලයේදීම ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණේ. විශේෂයෙන් පිතිකරුවෙක් තරුණ කාලයේ හොඳින් ගහනවනම් අවස්ථාව ලබාදුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පන්දු යවන්නෙක්ට අත්දැකීම් ඕන.”
“මට පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගන්න ඕන කියලා හිතේ තිබුණා. පළමුව බැට් කරන්න ඕන කියලත් හිතේ තිබ්බා. ඊට වැඩිය ලොකු දෙයක් තිබුණෙ නැහැ. හැබැයි මුලින්ම බැට් කරන්න ගිහිල්ලා පළමු පන්දුවට මුහුණ දෙන්න ලොකු බයක් හිතට ආවා. මොකද අවුට් වෙයි කියලා. පළමු ටෙස්ට් තරගයේ පළමු පන්දුවටම අවුට් වුණොත් ඒකත් ලෝක වාර්තාවක් වෙන හින්ද තමයි බය තිබ්බෙ. පළමු ටෙස්ට් ලකුණු මම ලබා ගත්තෙ. මම හිතන්නෙ පළමු ටෙස්ට් තරගයේ පළමු ලකුණ ලබා ගන්න එක මගේ හඳහනේ ලියවිලා තියෙන්න ඇති.
පළමු ටෙස්ට් තරගය ගහනකොට අපිට දවසකට රුපියල් 400 ක් හම්බ වුණා. සමහර මැච් දවස් හතරෙන් ඉවර වුණොත් දවස් හතරට විතරයි ගෙවන්නෙ. ඒ කාලයේ පාලක මණ්ඩලයට සල්ලි තිබුණෙ නැහැ. හැබැයි පිටරටක මැච් එකකට ගියාම නායකයාට අමතර ගාණක් හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නෙ ටීම් මිටින් එකකට ගියොත් හරි තව කා එක්ක හරි සාකච්ඡා කරමින් මොනව හරි කරන්න බොන්න ඕන වෙන අවස්ථාවලදී විතරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දැන් වෘත්තිය මට්ටමින් සිය ක්‍රීඩාව රැකියාවක් බවට කරගෙන යනු ලබයි. නමුත් ශ්‍රී ලංකාවේ පළමු වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඩී.එස්. ද සිල්වා බව වර්ණපුර සඳහන් කරයි.
“ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සල්ලි හම්බ කළේ ඩී. එස්. ද සිල්වා. එයාට ඒ කාලයේ වෙනම ගමන් වියදම් දෙනවා. ප්‍රැක්ටිස් එනවට වෙනම ගෙවනවා. පස්සෙ කොහොම හරි මේක අපි දැනගත්තහම අනිත් අයටත් ඒ ගෙවීම් කරන්න ඕන කියලා සටන් කළා. අපි ඇහුව්වා ඇයි එයාට විතරක් එහෙම කරන්නෙ කියලා. පස්සෙ ක්‍රිකට් පාලක මණ්ඩලය කිව්වා එයාව අපි සලකන්නෙ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු විදිහට කියලා. ඒ හින්ද තමයි එයාට ගෙවීම් කරන්නෙ කියලත් කිව්වා.”
“ඩී.එස්.ට ලබාදෙන ගෙවීම් අනිත් අයටත් ලබා දෙන්න කියලා අපි එදා සටන් කළත් වැඩක් වුණේ නැහැ. පස්සෙ ක්‍රීඩකයන්ට යම් දෙයක් ලැබෙන්න පටන් ගත්තෙ අපි තහනම් දකුණු අප්‍රිකා සංචාරය ගියාට පස්සෙ. අපි ඒ සංචාරය ගියෙත් ක්‍රිකට් පාලක මණ්ඩලයට රිදවන්න ඕන හින්දා. ඒ සංචාරයෙන් පස්සෙ ක්‍රීඩකයන්ට කන්ට්‍රැක් ලැබෙන්න ගත්තා. ක්‍රීඩකයන්ට හොඳක් වෙන්න පටන් ගත්තා. ඩී.එස්. පළමු ටෙස්ට් තරගයේ හොඳට කළා. හැබැයි එයාට වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස මුලින්ම සැලකුවට එයා කරපු දෙයක් නැහැ.”
ශ්‍රී ලංකාව ජයගත් පළමු එක්දින තරගයේ නායකයාද වූයේ බන්දුල වර්ණපුරය. “අපි දිනපු පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී ඉන්දියානු කණ්ඩායමේ පොඩි අවුලක් තිබ්බා. ඔවුන්ට ඒ තරගයේදී නායකත්වය දෙන්නෙ කාටද කියන ප්‍රශ්නය තමයි එතනදි මතු වුණේ. කොහොම හරි අපේ නිත්‍ය නායක අනුර තෙන්නකෝන් අසනීප වු නිසා මට මේ තරගය මෙහෙයවන්න ලැබුණා. සුනිල් ගවස්කාර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් එදා ඉන්දියාවට සෙල්ලම් කළත් අපි ඔවුන්ව පරාජය කිරීමට තරම් ශක්තිමත් වුණා.
පළමු ටෙස්ට් තරගය ගැහුව්වෙ පුහුණුකරුවෙක් නැතිව
දකුණු අප්‍රිකාවෙ ගියෙත් තහනම දැනගෙනයි
මාස හතකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් වුයේ කාගේවත් උගුලකට හසුව නොවන බවද බන්දුල වර්ණපුර සඳහන් කරයි. “දකුණු අප්‍රිකානු සංචාරයට මම ගියේ කාගෙවත් උගුලකට අහුවෙලා නෙමෙයි. මොකද මාව කණ්ඩායමේ නායකත්වයෙන් අයින් කරන්න මුල ඉඳලම කට්ටියක් සැලසුම් කළා. අපිට රිද්දන කට්ටියට රිද්දන්න කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න තමය ිදකුණු අප්‍රිකාවේ ගියේ. පළමු ටෙස්ට් තරගය අපි ගැහුව්වෙ පුහුණුකරුවෙක් නැතිව. හිටියා නමට පුහුණුකරුවන් දෙතුන් දෙනෙක්. නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තමයි සියල්ල සංවිධානය කරමින් පළමු ටෙස්ට් තරගයට සහභාගි වුණේ.”
“දකුණු අප්‍රිකානු සංචාරයට ගියේ තහනමක් බලාපොරොත්තුවෙන්ම තමයි. ඒත් අවුරුදු 25 ක තහනමක් බලාපොරොත්තු වුණේ නැහැ. උපරිම අවුරුදු දෙක තුනක තහනමක් පනවයි කියලා තමයි හිතන් හිටියේ. ඒ කාලේ එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් ඔය වගේ වැඩක් කරලා ඒ ගොල්ලන්ට දීලා තිබුණෙත් අවුරුදු තුන හතරක වගේ තහනමක්. නමුත් ඒ ගොල්ලන්ට ඒ තහනම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි එක විතරයි. අපිට ක්‍රිකට්වලට සම්බන්ධ කිසිම දෙයක් කරන්න බැරි විදිහට තහනමක් දැම්මා. අනික අපිට ඒ කාලේ ක්‍රිකට් ආයතනයත් එක්ක කිසිම කොන්ත්‍රාත්තුවක් තිබුණෙ නැති නිසා ස්වාධීනව තීරණයක් ගන්න පුළුවන් වුණා.”
“දකුණු අප්‍රිකානු සංචාරය ඔක්කොම සංවිධානය කළේ ටෝනි ඕපාත. එයා ඕලන්දයේ ඉඳලා අපිට ලැබෙන ගෙවීම් සහ දකුණු අප්‍රිකානු සංචාරය කොහොමද වෙන්නෙ කියන සියල්ල සංවිධානය කළා. ලංකාවේ මේක සංවිධානය කළේ දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස්. නමුත් ඒ ගොල්ලන් ගමනට සහභාගි වුණේ නැහැ. ඒ දෙන්නට දීර්ඝ කාලීනව නායකත්වය සහ උපනායකත්වය දීලා පාලක මණ්ඩලය ඒ අයව නවත්ත ගත්තා. පාලක මණ්ඩලය අනිත් අයත් එක්කත් සාකච්ඡා කළා නම් දකුණු අප්‍රිකානු සංචාරය අපි යන එකත් නවත්ත ගන්න තිබ්බා.
“නමුත් අප ිදකුණු අප්‍රිකා නොගිහින් හිටියත් කැපිල්ලක් එන්න තිබ්බා. මොකද ඒ වෙනකොට මාව කට්ටිය පාවදීලා ඉවරයි. ඒ සංචාරයේදී මට ඩොලර් තිස්දාහක් හම්බ වුණා. අනිත් අයට එක එක ගණන් ලැබුණා. අපිට ලැබුණ සල්ලි වලින් අපි ගෙවල් හදන එක තමයි කළේ ලස්සනම වැඩේ වුණේ අපි දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරනකොට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සමග ක්‍රීඩා කරමින් හිටියා. ඒ සංචාරය අතරතුර දුලිප් මෙන්ඩිසුයි, ඩී. එස්. ද සිල්වා සහ රෝයි ඩයස් ආයිත් දකුණු අප්‍රිකාවට එන්න හැදුවා. එතනදි ඒ fාල්ලන් ඩොලර් තිස්දාහක්ම ඉල්ලුවා. ඒ ගාන දෙන්න බැහැයි කියපු නිසා ඒ ගොල්ලන් ආවේ නැහැ. පස්සෙ දුලිප්ලා සිම්බාබ්වේ සංචාරය ඉවර වෙලා දකුණු අප්‍රිකාවට එන්න හැදුවා. එතකොට අපේ මැච් භාගයක් ඉවරයි. අපිටඅවුරුදු 25 ක තහනම දැම්මට පස්සෙත් දකුණු අප්‍රිකාවට එන්න කැමැතියි කියලා දුලිප්, රෝයි සහ ඩී.එස් අත්සන් කරපු ලියකියවිලි තවම මගේ ගාව තියෙනවා. ඒ අයට එන්න බැරි වුණේ පාස්පෝට් කළමණාකැ ගත්ත හින්දා.”
අර්ජුන රණතුංගත් දකුණු අප්‍රිකාවට ගෙනියන්න කට්ටිය උත්සහ කරද්දී බන්දුල වර්ණපුර ඔහුගේ ක්‍රිකට් දිවිය රැක ගැනීමට උරදී තිබේ. “අර්ජුන රණතුංගවත් ඔය දකුණු අප්‍රිකානු සංචාරයට එක්ක යන්න කට්ටියක් හැදුවා. පස්සෙ මම කියලා තමයි එයාව නැවැත්තුවේ. මම කිව්වා අර්ජුනට ඔයා තාම පොඩි ළමයෙක්. අනාගතයේ ඕගොල්ලන් තමයි මේ බාර ගන්න ඉන්නෙ කියලා. අපිට තිබුණ අවුරුදු 25 ක තහම අඩු කරගත්තෙ නඩුවක් දාලා. නන්ද මැතිව් තමයි නඩුව ඇපිල් කළේ. ඒත් මට අවුරුදු 9 ක තහනම් වැටුණා. අනිත් අයට අවුරුදු 8 යි. ඉතිං ඒ කාලෙදි බැට් එක් අතින් අල්ලන්නවත් ප්‍රැක්ටිස් කරන්නවත් ගියේ නැහැ. ඒව කරන්නත් තහනම්නේ. ජීවන ගමන උදෙසා මොකක් හරි කරනවා කියලා හිතාගෙන මම මගේ වැඩක් කරගෙන හිටියා.”
“තහනම ඉවර වුණාටත් පස්සෙ කට්ටිය කියන්නෙ ඒ දකුණු අප්‍රිකානු සංචාරයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මම කියලා. නමුත් තරගාවලිය සංවිධානය කළ කට්ටිය ගැන සහ අපිව පාවාදුන්න කට්ටිය ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.”
83 දී ඔස්ටේලියාවත් එක්ක අස්ගිරියේ තිබුණ මැච් එකක් බලන්න ගියා. ඒ මැච් එකේදී මිනිස්සු කුපිත වෙලා උද්ඝෝෂණයක් කළා. ඒකටත් අපිව ගාවලා හතරවැනි තට්ටුවට ගෙනිච්චා. අපි විතරක් නෙමෙයි අපි ගැන ලියපු මාධ්‍යවේදීන්වත් ගෙනිච්චා. ඒ තරමට අපි දිහා සමහරු සැකෙන් බැලුවෙ. පස්සෙ මැච් බලන්න යන එකත් නැවැත්තුවා.
“ඒ කාලයේ තරගයක් ඉවර වුණාම පුටු 30 ක් එළියෙන් තියලා ටීම් දෙකම සාකච්ඡා කරනවා. අද ඉතින් මැච් එකක් ඉවර වුණාම ෆෝන් එක කණේ ගහගෙන තමන්ගේ වාහනයෙන් ගෙදර යනවා. ඒ කාලේ පාලක මණ්ඩලයට තිබුණෙ වාහන දෙකක් වගේ. අපේ බෑග් සහ ක්‍රිකට් ආම්පන්න වාහනයෙන් ග්‍රවුන්ඩ් එකට යවලා අපි බස් එකේ මැච් එකට යනවා. වනාතමුල්ල බස් නැවතුම්පොළෙන් බැහැලා ග්‍රවුන්ඩ් එකට පයින් ගිහින් අපි ක්‍රිකට් ගැහුව්වා.

Advertisement