චන්දිමාල් සංගක්කාරගේ වාර්තාවක් කඩයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලි නුවරදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගත් දිනේෂ් චන්දිමාල් කුමාර් සංගක්කාර සතුව තිබූ වාර්තාවක් බිඳ දැමීමට සමත් විය.
ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී නායකත්වය දරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට මීට පෙර සමත්ව තිබුණේ කුමාර් සංගක්කාරය. 2009 දී මුම්බායි හී පැවැති ටෙස්ට් තරගයකදී නායකයකු ලෙස සංගක්කාර ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 137 වාර්තාව වසර අටකට පසුව දිනේෂ් චන්දිමාල් නායකයකු ලෙස බිඳ දැමීමට සමත් වූයේ සිය දහ වැනි ටෙස්ට් ශතකයද වාර්තා කර ගනිමිනි.
චන්දිමාල් ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් පිතිකරුවා වශයෙන් දැවී යන විට පන්දු 361 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහරක් සමග ලකුණු 164 ක් ලබා සිටියේය. චන්දිමාල්ගේ ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය වූ අතර මීට පෙර ඔහු ඉන්දියාවට එරෙහිව පන්දු 169 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර හතරක් සමග 2015 වසරේදී නොදැවී ලකුණු 162 ක් ලබා තිබුණි.
අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකදී එනම් ඉනිම 80 කදී ශතක 10 ක් ලැබූ ශ්‍රී ලංකාවේ එකම පිතිකරුවා වීමට දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී සමත් වූ අතර මීට පෙර තිලාන් සමරවීර ඉනිම 84 කදී ශතක දහයක් ලබා තිබුණි.