චෙස් ග්‍රෑන්ඩ් ප්‍රී ශූරයා පේසඳු රශ්මිත

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධාන කළ 9 වැනි ශ්‍රී ලංකා චෙස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩී.එස්. සේනානායක විදුහලේ පේසඳු රශ්මිත ලියනගේ සමත් විය.

අදියර දෙකකින් සමන්විතව පැවති තරගාවලියේ අවසන් මහා තරගයේදී පේසඳු හමුවේ කොකාවිල් හින්දු විද්‍යාලයේ එස්. සිවතනුජන් පරාජයට පත් විය.

ද්විත්ව වටයේ අවසන් මහා තරගයේදී, පේසඳු ඔහුගේ පළමු තරගය සුදු වර්ණය සමඟින් ජය ගත් අතර, 2 වැනි තරග වටය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට හැකි විය. පේසඳුට රන් පදක්කම සහ ශූරතා කුසලානය සමඟ රුපියල් 60,000ක් පිරිනැමුණු අතර, සිවතනුජන්ට රිදී පදක්කම සමඟ රු. 40,000ක් හිමි විය.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී රාජකීය විද්‍යාලයේ විනුද ෂෙනාල් ගුණතිලක පරාජය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඔෂීන් ද සිල්වා සමත් විය. පළමු වටයේදී විනුද පරාජය කළ ඔෂීන් 2 වැනි වටයේ දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. ඔහුට ලෝකඩ පදක්කම සමඟ රු. 25,000ක් හිමි විය.

විනුද සිව්වැනි ස්ථානයට පත් වෙද්දී, තරගාවලියේ පස්වැනි ස්ථානය සඳහා පැවති තරගයේදී බුද්ධික අමරසිංහ විසින් කෝසල සංදීප අමරසිංහ පරාජය කරනු ලැබීය.