ලකුණු 24 ක ජයක් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ කොලෑන්ඩර්ස් කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය කොලෑන්ඩර්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී ලබාගත හැකි වූයේ 104 ක් පමණි. නායක ඬේවිඞ් මැලන් පන්දු 25 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

පිලිප් සැල්ට් (නොදැවී 25) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මැලන් සමත් වූ අතර පන්දු 14 කදී වාර්තා වූ සැල්ට්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු ලුක් රොන්කි පන්දු 12 කදී ලකුණු 17 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියෙටර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරුවන් වූ මොහොමඞ් ශේෂාඞ් (57) සහ නායක ෂේන් වොට්සන් (30) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 60 ක සමබ්න්ධතාවක් ගොඩනගමින් ග්ලැඩියෙටර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 21 කට මුහුණදුන් ශේෂාඩ්, හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 15 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ බෙන් කටින් පන්දු 10 කදී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජෝජ් ගාටන් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර ඔහු හැරුණු කොට සෙසු පන්දු යවන්නන් සියලු දෙනාම පාහේ දැඩි පහර කෑමට ලක් වූහ. ළහිරු කුමාර යෑවූ ඕවර දෙකේදී ලකුණු 30 ක් රැස්කිරීමටද ග්ලැඩියේටර්ස් පිතිකරුවෝ සමත් වූහ.