ඩයලොග් ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා අභියෝග කුසලාන හැටන් නැෂනල් බැංකුව දිනයි

මධ්‍යම පළාත් සභා ක‍්‍රීඩා සංකීර්ණ ක‍්‍රීඩාගාරයේ දී නිමාව දුටු ජාතික ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සදහා පිරිනමන ලද ”ඩයලොග් ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා අභියෝග කුසලාන” ට හිමිකම් කියන්නට හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

එකී අනු ශූරතාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ට හිමි වූ අතර ශ‍්‍රී ලංකා යුද හමුදාවට දෙවන අනු ශූරතාවයෙන් සැහීමට පත් වන්නට සිදු විය.

අවසන් පූර්ව වටයේ දී හා තෙවන ස්ථානය තෝරා ගැනීමේ සටනේදී පරාජය ලැබූ කුරුණෑගල සංගමයට සිව් වැනි ස්ථානය හිමි විය. දෙවැනි ස්ථානය සඳහා වූ තරගයේ දී යුද හමුදාව හමුවේ ලකුණු 68 – 44 ක පරාජයක් අත් විඳීමට කුරුණෑගලට සිදු විය.

මෙවර තරගාවලිය ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් ජාතික නෙට්බෝල් රැුජින ලෙස අභිසෙස් ලබන්නට හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ මල්මී හෙට්ටිආරච්චී ට හැකි වූවාය.

ජාත්‍යන්තර අත්දැකීම් බහුල දර්ශිකා අබේවික‍්‍රම ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ හැටන් නැෂනල් බැංකුව සහ දුලනී ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තීරණාත්මක අවසන් තරගයේදී ලකුණු 49 – 47 ක උද්වේගකර ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට හැටන් බැංකුව නියෝජනය කළ ක‍්‍රීඩිකාවෝ සමත් වූයේ පිට පිට තෙවන වරටත් ජාතික ශූරීන් වීමේ අවස්ථාව උදාකර ගනිමිනි.

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා නෙට්බෝල් තරගාවලි ඉතිහාසයේ අතිශය තියුණුතම අවසන් තරගය සනිටුහන් කරමින් මෙවර තරගාවලියේ නිමාව සටහන් වීම කැපී පෙනුණි. මෙම තරගය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ලකුණු 39 – 39 ක් ලෙස සටහන් කර ගැනීම හේතුවෙන් උණුසුම වඩාත් තීව‍්‍ර විය. ඒ අනුව ජයග‍්‍රාහී පිල තෝරා ගැනීම සඳහා අතිරේක කාලයක් දක්වා තරගය දීර්ඝ කිරීමට විනිශ්චකරුවන්හට සිදු වූ අතර එහිදී ලකුණු 10 – 08 ක් ලෙස ඉදිරියෙන් පසුවෙමින් වසරේ ශූරතාවය තහවුරු කර ගැනීමට හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ අනුව මෙම තරගයේ අවසන් ලකුණු තත්ත්වය 49 – 47 ක් ලෙස සටහන් වුණි.

2018 සහ 2019 දෙවසරේ ශූරීන් වූ හැටන් නැෂනල් බැංකුව තම අපරාජිත බව 05 වැනි වසරටත් තහවුරු කර ගැනීමට සමත් වීම ඒ අතරේ කැපී පෙනුණි.

මෙම තරගය බුද්ධික සූරිය බණ්ඩාර මහතා සහ අනුෂ්කා තලගලආරච්චී මහත්මිය එක්ව විනිශ්චය කරන ලදි.

අවසන් පූර්ව වටයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් සංගමය ලකුණු 45 – 17 ක් ලෙස පරාජය කරමින් හැටන් නැෂනල් බැංකුව ද යුද හමුදාව ලකුණු 41 – 35 ක් ලෙස පරාජය කරමින් ගුවන් හමුදාව ද මෙවර තීරණාත්මක අවසාන මහා සටන සඳහා වරම් ලබා ගත්තේය. ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවති සටන මෙවර තරගාවලිය තුළ දක්නට ලැබුණු අතිශය තියුණුම අවසන් පූර්ව තරගය ලෙස හැඳින්විය හැකිය.

මෙම තරගය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ලකුණු 31- 31 ක් ලෙස ලබා ගනිමින් සම තත්වයක පසු වීම හේතුවෙන් ජයග‍්‍රාහී පිල තෝරා ගැනීම උදෙසා තවත් අතිරේක කාලයක් දක්වා තරග කාලය දීර්ඝ කිරීමට සංවිධායකයින් හට සිදු විය.

අතිරේක කාර්තුවේ දී ලකුණු 10 – 05 ක් ලෙස ඉදිරියෙන් පසුවෙමින් ලකුණු 41 – 36 ක ජයග‍්‍රහණයක් සමගින් අවසන් තරගයට වරම් ලබා ගැනීමට ගුවන් හමුදාවට එහිදී හැකි විය.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග‍්‍රාහක ශක්තියෙන් යුතුව සෙනසුරාදා (22) පෙරවරුවේ මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක‍්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ කෙරුණු මෙවර තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප‍්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ ලාංඡුන හා මාධ්‍ය ජ්‍යෙෂ්ඨ කළමනාකාර හර්ෂ සමරනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) සවස සිදු කෙරුණි.

හිටපු ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ශ‍්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධුරයට පත් වීමෙන් අනතුරුව සංවිධානය කළ කුළුඳුල් ජාතික ජ්‍යෙෂ්ඨ ශුරතා නෙට්බෝල් තරගාවලිය මෙය වූ අතර ඒ සදහා එක්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව 32 කි.

මෙහි මූලික වටයේ තරගය කාණ්ඩ 08 ක් යටතේ ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරුණු අතර එහිදී ඉහළම දක්ෂතා ප‍්‍රදර්ශනය කළ කණ්ඩායම් 08 ක් අර්ධ අවසන් පූර්ව වටය තෝරා ගැනීමට සංවිධායකයින් පියවර ගත්තේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල සංගමය හමුවේ මහනුවර සංගමය ලකුණු 30 – 25 ක් ලෙස ද ගුවන් හමුදාව හමුවේ කොළඹ සංගමය ලකුණු 47 – 22 ක් ලෙස ද යුද හමුදාව හමුවේ කළුතර සංගමය ලකුණු 56 – 20 ක් ලෙස ද ජයග‍්‍රහණය ලැබීය.

වරාය අධිකාරියට එරෙහිව නිතරග ජයග‍්‍රහණයක් සටන් කර ගැනීමට හැටන් නැෂනල් බැංකුව ට හැකි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර