ෆිට්නස් ෆේල් වු කුසල්ට අයි.පී.එල්. වලින් මිලියන පහක්

ශ‍්‍රී ලංකාවෙන් පහක් වෙන්දේසියට

ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 14 වැනිදා අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසියේ පළමු අදියර අද (18 දා) චෙන්නායි හිදී සිදුකිරීමට නියමිතව ඇත. එහිදී ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාව ඉන්දියානු රුපියල් මිලියන පහක වටිනාකමින් වෙන්දේසියට ඉදිරිපත් කර තිබේ.
කුසල් පෙරේරා පසුගියදා සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැති ශාරීරික යෝග්‍යතා (ෆිට්නස්* පරීක්ෂණයද අසමත් විය. ඔහුට කි.මී. 2 ක දුරක් අදාළ කාලය තුළදී දිව යෑමට නොහැකිවීමෙන් එම පරීක්ෂණය අසමත් වුවත් අයි.පී.එල්. වෙන්දේසියට ඉදිරිපත්ව තිබේ.
මීට අමතරව ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාද ඉන්දියානු රුපියල් මිලියන පහක වටිනාකමින් ක‍්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කර තිබේ. වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, ඉසුරු උදාන, යන තුන් ඉරියව් ක‍්‍රීඩකයන්ව පළමු ලංසුව සඳහා ඉදිරිපත්ව කර ඇත්තේ ඉන්දියානු රුපියල් මිලියන පහක මුදලකට වේ.
අයි.පී.එල්. වෙන්දේසියට ඉදිරිපත් කරනු ලබන ලොව පුරා ක‍්‍රීඩකයන් සංඛ්‍යාව දහස ඉක්මවුවද අවසානයේදී තෝරාගත් 292 දෙදෙනා අතරට ශ‍්‍රී ලංකාවෙන් පස් දෙනකුට අවස්ථාව හිමිව තිබේ. කෙසේ වෙතත් ඔවුන්ව වෙන්දේසියේදී අළෙවි වන ආකාරය මත තරගාවලියට සහභාගි වීම තීරණය වනු ඇත. අවසන් වෙන්දේසියට ඉන්දියාවෙන් ක‍්‍රීඩකයන් 164 ක්, විදේශ ක‍්‍රීඩකයන් 125ක් සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය නොලද රටවලින් ක‍්‍රීඩකයන් තිදෙදෙනකු ඉදිරිපත්ව ඇත.