හරි විදිහට නැහැයි කියා මාලිංග එල්.පී.එල්. බැහැ කියයි

ලොව විස්සයි විස්ස සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානයේ ලොව උසස්ම විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියාගේ වාර්තාවටද හිමිකම් කියන ඔහු ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් ඉවත්ව ඇත.
‘‘නිකන්ම තරගාවලියක් ගහලා වැඩක් නැහැ. තරගාවලියක් පවත්වනවනම් හරි විදිහට වෙන්න ඕන. එහෙම නැතිව ගහන්නම් වාලේ ගහලා වැඩක් නැහැ. අපි බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.’’ යනුවෙන් ලසිත් මාලිංග පවසයි.
පසුගිය වසර කිහිපයේදී විදේශීය ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගවලට ශ‍්‍රී ලංකාවෙන් සහභාගි වීමට වරම් ලැබුවේ ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන පමණි. බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියට ඉකුත් වසරේදී දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ වැනි ක‍්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබුණි. මාලිංගලා මෙන්ම ක‍්‍රිස් ගේල්ලා වැනි ලොව සුපිරි විස්සයි විස්ස ක‍්‍රිකට් තරු ප‍්‍රිමියර් ලීග් තරග ඔස්සේ මේ ව විටත් රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් උපයා ඇත . නමුත් එල්.පී.එල්. වලදී ඔවුන්ට ලැබෙන ඉහළම ගණන ඇ.ඩො. 60000 කි. එබැවින් කි‍්‍රස් ගේල් එම මුදලට මුලින්ම බැහැ කියා ඇ.ඩො 100000 ක් ඉල්ලූවේය. ඒ ගැනත් විශ්වාසයක් නැතිවීම නිසා ඔහු තරගාවලියට සහභාගි වීමට නොහැකි බව දැන්වූහ.
අයි.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කරන අතරවාරයේ දේශීය විස්සයි විස්ස තරගාවලියට සහභාගි වීමටද මාලිංග සමත් විය. එදා මාලිංගට ජාතික කණ්ඩායමේ ස්ථානයටද පොඩි කැපිල්ලක් තිබු නිසා එසේ ඔහු ඉන්දියාවේ සිට කඩිමුඩියේ ඇවිත් සෙල්ලම් කළේය. නමුත් එල්.පී.එල්. ගැන මාලිංගගේ කතාව වෙනස් කතාවකි.
මාලිංග එල්.පී.එල්. ක‍්‍රීඩා නොකරන බව පැවසුවේ තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදීය. ඔහු ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමටද සැලසුමක් තිබුණි. සහිඞ් අෆ්රීඩිද එම කණ්ඩායමට නම් කර ඇත. නමුත් හදිසියේම ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකයා එල්.පී.එල්. ගහන්න බැහැ කිව්වේ කුකුස දනවන ප‍්‍රශ්නයක් සඟවාගෙන බවනම් සැබෑය.
‘‘පුහුණුවීම් කරන්න අවස්ථාවක් තිබුණෙ නැහැනේ. කෝවිඞ් 19 හේතුවෙන් රට වහලා තිබුණෙ. මම මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසුව කිසිම ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් කරලා නැහැ. මට කිසිම පුහුණුවක් ලැබුණෙත් නැහැ. පසුගිය මාසයේ මේ තරගාවලියේ කෙටුම්පත සිදුවුන වෙලාවේ මම හිතුවා සති තුනකවත් පුහුණුවක් ලැබෙයි කියලා. නමුත් කිසිවක් සිදුවුණේ නැහැ. මේ සතියේදී හම්බන්තොට පැමිණ නිරෝධානය වෙන්න විතරයි තිබුණේ. පුහුණුවක් නැතිව ඉහළ මට්ටමක ක‍්‍රීඩා කරන්න පන්දු යවන්නකුට පහසු නැහැ. එල්.පී.එල්. තරගාවලියේ එක දිගට තරග තියෙනවා. ඒ නිසා මම තීරණය කළා ක‍්‍රීඩා නොකරන්න.’’ යැයි මාලිංග පවසයි.