පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළේ රැජනගේ ගිනි සිළුව ශ්‍රී ලංකාවට

මේ වසරේ පැවැත්වෙන බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සමාරම්භක දිනයේ ක්‍රීඩා පිටියට රැගෙන එන රැජනගේ ගිනි සිළුව අද දින ශ්‍රී ලංකාවේ ගමන් අරඹයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනි දින එංගලන්තයේ බකිංහැම් මාලිගය අසලින් ගමන් ඇරඹූ රැජනගේ ගිනි සිළුව සිව්වතාවක් පැරාලිම්පික් රන් පදක්කම්ලාභී එංගලන්ත මලල ක්‍රීඩිකා කඩීනා කොක්ස් වෙත දුන් අතර, එතැන් සිට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 72ක ගමන් කරයි. රැජනගේ ගිනි සිළුව 25 වැනි ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මාලදිවයිනේ සංචාරය කළ රැජනගේ ගිනි සිළුව යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඕෂනියා, කැරිබියන් සහ අමෙරිකාව ආදී රටවල දින 269ක් පුරා කිලෝමීටර් 140,00ක දුරක් ආවරණය කරනු ඇත.

මේ 6 දා ගිනි සිළුව ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන තෙක් ඊට සම්බන්ධ නිල ක්‍රියාකාරකම් ජාතික ඔලිම්පික් කමිටුව, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධාන කෙරේ. රැජනගේ ගිනි සිළුව කොළඹ නිදහස් චතුරස්‍රය, මහනුවර, වික්ටෝරියා වේල්ල සහ හැටන් යන ප්‍රදේශවල ගමන් කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රභූන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රැජනගේ ගිනි සිළුව නිල වශයෙන් පිළිගනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පදක්කම් දිනූ චින්තන විතානගේ සහ දිනූෂා හංසනී ගෝමස් විසින් රැජනගේ යෂ්ටිය ගුවන් තොටුපොළේදී රැගෙන යෑමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසන්නේ රැජනගේ ගිනි සිළුව ගමන් ගන්නා ඓතිහාසික ගමන් මගේ කොටසක් වීම ගැන සතුටු වන බවයි. එය පොදු රාජ්‍ය මණ්ඩලය පුරා සිටින ජනතාවට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට හොඳම අවස්ථාවක් බව හෙතෙම කියා සිටියේය.