තහනමෙන් මිදුනු සනත් ජයසූරිය යළි ක‍්‍රිකට් පිටියට

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ දෙවසරක ක‍්‍රිකට් සම්බාධක තහනම අද (03 දා) සිට අවසන් වූ බව අයි.සී.සී.ය නිවේදනය කර සිටියි. ඒ අනූව ජයසූරියට ඉදිරියේදී ක‍්‍රිකට් සම්බන්ධව සුපුරුදු පරිදි ඕනෑම කටයුත්තකට සහභාගි විය හැකිය.
අයි.සී.සී. දුෂණ විරෝධී නීති සංග‍්‍රහයේ 2.4.6 වගන්තිය කඩ කිරීම සම්බන්ධව චෝදනා ගොනු කරමින් අයි.සී.සී. දුෂණ විමර්ශණ ඒකකය විසින් ජයසූරියට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් පනවනු ලැබුවේ ක‍්‍රිකට් සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි වීමට නොහැකි බවට කරුණු දක්වමිනි.
සනත් ජයසූරියගේ ජංගම දුරකතනය අයි.සී.සී. බළධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් ඔහුට මෙම සම්බාධක තහනම පනවනු ලැබීය. අදාළ තහනම අවසන් වීම සම්බන්ධව සනත් ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යළිත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධවීමට තමාට අවස්තාවක් ලැබී ඇති බවයි.
‘‘මම එකඟ වු සම්බාධකයේ කොන්දේසි සපුරා අවසන්. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මගේ නුසුදුසු කාලය අවසන් බව අයි.සී.සී.ය සහ ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය මට දන්වා තියෙනවා. එබැවින් මට දැන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ වීමට හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වීමට අවස්ථාව උදාවෙලා තියෙනවා.’’