පාසල් 650 කට ක්‍රිකට් උපකරණ

ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනේ එක් අදියරක් වන පාසල් ක්‍රිකට් නැංවීම වෙනුවෙන් සඳහා වන ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදා දීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (ජනවාරි 28) දින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලකෙන කනිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ බාළක වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන පාසල් 650 ක් සඳහා මෙම උපකරණ බෙදා දීම අද දින සිදුකෙරිණ. එහි පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් 66 ක් සඳහා මෙම උපකරණ බෙදාදීම සිදුවිය. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 50 කටද මෙම ක්‍රීඩා උපකරණ කට්ටලය පිරිනැමෙනු ඇත.
ක්‍රිකට් පිති 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් බෙදා දෙන ලද පාසල් උපකරණ බෑගයට ඇතුළත් විය.
අදින් ආරම්භ වුණු මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩ සටහන ඉදිරියේදී දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීමට ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ක්‍රීඩා උපකරණ බෙදාදීමට අමතරව ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට පියවර ගනු ඇති බවද මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මෙම උපකරණ බෙදාදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා , ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ තිලක් වත්තුහේවා , ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා ,ශ්‍රී ලංකා ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද , විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වල සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයකු වන ඔෂාර පණ්ඩිතරත්න යන මහත්වරු සහභාගි වූහ.