අවිශ්කගේ ආගමනයත් සමග ක්‍රිකට් යෞවනයෝ අනාගතයට සුබ පෙර නිමිති කියයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පිට පිටම දෙවැනි වරටත් එක්දින තරගාවලියක් ජයග්‍රහණය කරමින් එංගලන්තය සමග පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් වශයෙන් ජය ගැනීමට සමත් විය. ඔවුන් මීට පෙර බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලියද විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේය.
යොවුන් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පැමිණීමෙන් පසුව මෙම සුවිශේෂී දක්ෂතා දැක්වීම විශේෂත්වයක් වන අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමද මෙවැනිම ජයග්‍රාහී තලයකට ගෙන ඒමට සමත් වූ පුහුණුකරුවෙකි.

ඒ අනුව තරග 5කින් යුත් තරගාවලියේ තරග තුනක් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජය ගත් අතර තරග දෙකක ජය එංගලන්ත කණ්ඩායමට හිමි විය.

අවසාන එක් දින තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 214ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ඇරඹූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි.

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් සිය පන්දු වාර 9 තුළදී ලකුණු 45කට ප‍්‍රතිවාදී කඩුලූ 4ක් දවා ගත් අතර සදීශ රාජපක්ෂ පන්දුවාර 6 ක් තුළදී ලකුණු 17කට කඩුලූ 2ක් දවා ගත්තේය.

ලකුණු 215ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේදී දැවී ගිය අතර දෙවන කඩුල්ල ලකුණු 23 දී දැවී ගියේය. ලකුණු 74 ක් වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලූ 5ක් දැවී ගොස් තිබූ අතර සධීෂ රාජපක්ෂ හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 66ක් ලබා ගෙන අවසන් පිතිකරු ලෙස දැවී ගියේය.

ශ‍්‍රී ලංකා ඉනිමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි සධීෂ රාජපක්ෂ පන්දු 77කට මුහුණ දෙමින් ඉන් පන්දු 7ක් හතරේ සීමාව ඉක්මවා යෑමට එල්ල කිරීමට සමත් වී තිබුණි.

ශ‍්‍රී ලංකා ඉනිම සුනු විසුනු කිරීම ආරම්භක පන්දුවේ සිටම ක‍්‍රියා කළ එංගලන්ත ක‍්‍රීඩක ටොම් ප්‍රෙස්ට් සිය පන්දු වාර 10 අවසානයේදී ලකුණු 41 ක ට ශ‍්‍රී ලංකා කඩුලූ 6ක් දවා ගෙන තිබුණි. ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා නායක දුනිත් වෙල්ලාලගේ ඇතුළු ක‍්‍රීඩකයන් තිදෙනකු විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට අභිෂේක් ලියනආරච්චි, ලහිරු අබේසිංහ සහ සකුණ නිදර්ශන ලියනගේ යන ක‍්‍රීඩකයෝ ශ‍්‍රී ලංකා වෙනුවෙන් යොවුන් එක් දින තරග වරම් ලැබූහ.

ලකුණු සාරාංශය

එංගලන්ත කණ්ඩායම කඩුලූ 8ක් දැවී ලකුණු 214

විලියම් ලක්ස්ටන් 84, ඇලෙක්ස් හෝර්ටන් 36, තෝමස් අස්පින්වාල් 20.

පන්දු යැවීම

විනුජ රන්පුල් 45/4, සධීෂ රාජපක්ෂ 17/2

ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 166

සධීෂ රාජපක්ෂ 66, අභිෂේක් ලියනආරච්චි 24, සකුණ නිදර්ශන 20.

පන්දු යැවීම

ටොම් ප්‍රෙස්ට් 41/6, තෝමස් අස්පින්වාල් 22/2