නිදහස් සමරු කුසලාන මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් 18දා සිට

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උළෙලට සමගාමීව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලබන වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් තරගමාලවන්හි ප්‍රථම අංගය වශයෙන් මෙම මධ්‍යම ආසියානු ප්‍රථම වෙරළ වොලිබෝල් තරගමාලාව සංවිධානය කර ඇත.
ආසියානු වොලිබෝල් සම්මේලනය සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයන් හි අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙයවනු ලබන ප්‍රථම මධ්‍යම ආසියානු වෙරල වොලිබෝල් තරගාවලිය 2022 පෙබරවාරි මස 18-19-20 දිනවලදී මීගමුව බීච් පාර්ක් වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරඟ මාලාව පිරිමි හා කාන්තා අංශයන් පැවැත්වෙන අතර ඒ සඳහා ඉරානය, උස්බගිස්ථානය, මාලදිවයින, පාකිස්ථානය සහ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතය. තරඟ මාලාවේ සමාරම්භක උළෙල 2022 පෙබරවාරි මස 18 වැනි දින පෙ.ව.08.00 ට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති , ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කාංචන ජයරත්න සහ මීගමුව නගර සභාපති දයාන් ලංසා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. තරඟාවලිය සඳහා සහභාගී වන රටවල් නියෝජනය කරමින් එක් රටකින් කණ්ඩායම් 02 බැගින් පිරිමි හා කාන්තා අංශයෙන් සහභාගී වන අතර සත්කාරක ග්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 03 බැගින් සහභාගී කරවීමට
නියමිතය.
ජයග්‍රාහකයින් සදහා නිදහස් කුසලානය පිරිනැමීමට නියමිත අතර කාන්තා පිරිමි දෙපාර්ශවයටම ප්‍රථම ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් (USD) 1500 , දෙවන ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් (USD) 1000 හා තෙවන ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් (USD) 500 ප්‍රධානය කිරිමට නියමිතය.
දිනපතා තරඟ පෙ.ව.8.00 සිට 12.00 දක්වාත් නැවත ප.ව.3.00 සිට රාත්‍රී 9.00 දක්වාත් පැවැත්වේ. අවසන් මහා තරඟ 2022 පෙබරවාරි මස 20 වන දින රාත්‍රී 7.00ට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා , මීගමුව මහ නගර සභාපති දයාන් ලංසා , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ ග්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති ,ජාතික ඔලිම්පික් කමිටු උප සභාපති කාංචන ජයරත්න යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.