ඔලිම්පික් නිලවරණයට ඡන්ද දෙකක් හැලෙයි

Big hand puts vote paper into box. Poster for social media, web page, banner, presentation. Flat design vector illustration

ජාතික ඔලිම්පික් කමිටුවේ  (28) පැවැත්වීමට නියමිත නව නිලධාරීන් පත් කිරීමේ නිලවරණයේදී පාපැදි හා හෑන්ඩ්බෝල් සම්මේලනවල කිසිදු නියෝජිතයකුට ඡන්දය නොදී නිලවරණය පැවැත්වීමේ සූදානමක් වාර්තා වෙයි.

කොළඹ අතිරේක දිසා අධිකරණය ඔලිම්පික් නිලවරණයට වාරණ නියෝග නිකුත් කොට ඇති හෙයින් මේ පියවර ගැනීමට සූදානම් වේ. පාපැදි හා හෑන්ඩ්බෝල් සම්මේලනවල උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම සම්මේලනවල හිටපු සභාපතිවරුන් වන එන්. කරුණාරත්න හා දම්පත් ප්‍රනාන්දු මහත්වරුන්ට එම අන්තර්ජාතික සම්මේලනවල පිළිගැනීම මත ඡන්ද අයිතිය දී තිබූ අතර, එය අභියෝගයට ලක්වීමෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය විය.

පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරි හා හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපති උපුල් රාජපක්ෂ යන වත්මන් නිලධාරීන් පවසන්නේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද අයිතිය තමන්ට හිමි විය යුතු බවය. එහෙත් එම සම්මේලනවල හිටපු නිලධාරීන් පවසන්නේ දැනට පත්වූ නිලධාරීන් නීත්‍යනුකූල නොවන අය බවය. මේ කඹ ඇදිල්ල හේතුවෙන් දෙපාර්ශ්වයටම ඡන්ද අයිතිය නොදී නිලවරණය පැවැත්වීමේ හැකියාව අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයෝ අද (27) දිනයේ සූදානමින් සිටිති. මේ අනුව හෙට දිනයේ ඡන්ද විමසීම ඔලිම්පික් ක්‍රීඩා නියෝජනය කිරීමට වරම් ඇති මෙරට ක්‍රීඩා සංගම් 33ක නියෝජිතයන්ට පමණක් සීමා වේ.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් නාම යෝජනා දී සිටි නියෝජ්‍ය ලේකම් වින්ග් කමාන්ඩර් චන්දන ලියනගේ හා නියෝජ්‍ය භාණ්ඩාගාරික ශිරන්ත පීරිස් මහත්වරුන් දැනටමත් නිතරගයෙන් තේරී පත්ව සිටින අතර, සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයට එරෙහිව උප සභාපති තනතුරට නාමයෝජනා දී සිටි ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ හා ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපති කමල් පුෂ්පකුමාර මහතාගේ නාමයෝජනා නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කොට ඇත. උප සභාපතිවරයකු ලෙස නාමයෝජනා දී සිටි අසංග සෙ‍ෙනවිරත්න මහතා පෞද්ගලික හේතු මත නාමයෝජනාව ඉල්ලා අස් කර ගත් හෙයින් උප සභාපති තනතුරු 4 වෙනුවෙන් අපේක්ෂක සංඛ්‍යාව 6ක් දක්වා පහළ ගියේය.

මේ අනුව උප සභාපති තනතුරු 4ට සුරේෂ් – මැක්ස්වෙල් පාර්ශ්වයෙන් සුරංජිත් ප්‍රේමදාස (අසුන් පිට යෑමේ ක්‍රීඩා සංගමය), ජෝසප් කෙනී (සුළං ඔරු ක්‍රීඩා සම්මේලනය), රිස්ඩි ෆාහීම් (ශ්‍රී ලංකා තුන් ප්‍රයාම ක්‍රීඩා සංගමය) හා නිලූ ජයතිලක (ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය) මහත්ම මහත්මීන් 4ක් ඉදිරිපත්ව සිටින අතර, පාලිත ප්‍රනාන්දු පාර්ශ්වයෙන් කංචන ජයරත්න (ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය) හා ප්‍රීති පෙරේරා (කැනොයින් හා කයාකිං සම්මේලනය) මහත්වරු දෙදෙන පමණක් ඉතිරිව සිටිති.

මෙවර නිලවරණයේදී වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සමඟ තරග වැදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සූදානමින් සිටින අතර, මහ ලේකම් තනතුරට වත්මන් මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මොහාන් විජේසිංහ මහතා අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත.

අවසන් වරට පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා රොහාන් ප්‍රනාන්දු මහතා තරග කළ අතර, එහිදී සුබ්‍රමනියම් මහතා ඡන්ද 18ක් හා රොහාන් ප්‍රනාන්දු මහතා ඡන්ද 12ක් හිමි කර ගත්තේය. මහ ලේකම් තනතුර සඳහා වූ සටනේදී වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඡන්ද 19ක් හා ප්‍රීති විරාජ් පෙරේරා මහතා ඡන්ද 12ක් හිමි කර ගත්හ.