මාලිංග – මුම්බායි ඉන්දියන්ස් කසාදය බිඳ වැටෙයි

දීර්ඝ කාලයක සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මීළග අයි.පී.එල්. තරග වාරයේදී මුම්බායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයෙන් ඉවත් කර ක්‍රීඩක වෙන්දේසියට එක් කිරීමට මුම්බායි කළමණාකාරීත්වය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති මුම්බායි කළමණාකාරීත්වය වැඩි දුරටත් පවසා ඇත්තේ තමන්ට කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් ලෙස ක්‍රීඩකයන් 4ක් හෝ 5ක් රදවා ගත හැකි වුවත් ඉදිරි තරගාවලිය සදහා මාලිංග කණ්ඩායමේ රදවා ගැනීම අවදානම් බවයි.

මාලිංග අවසන් වරට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 11කදී කඩුලු 11ක් පමණක් දවා ගැනීමට සමත් වුවත් ඔහු මේ වනවිටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නාද වෙයි. කෙසේවෙතත් මාලිංග කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයෙන් ඉවත් කළත් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව නැවතත් මිලදී ගැනීමට මුම්බායි කණ්ඩායමට හැකියාව ඇතත් මේ දක්වා එවැනි අදහසක් පිළිබඳව මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරීත්වය අදහස් පළ කර නොමැත. මාලිංග පසුගිය කාලය තුල සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයක් ලගා කර නොගැනීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කරයි.