කෙළිබිමේ කෝටිපති කෙල්ලන්

ක‍්‍රීඩාව හා මුදල් අතර වර්තමානයේ ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකි. අතීතයේදී මුදල් යනු ක‍්‍රීඩාවේ අතුරු ඵලයක් වුවද වර්තමානයේ බොහෝ ක‍්‍රීඩාවල අවසන් ප‍්‍රතිඵලය මූල්‍යමය වටිනාකම්වලට පෙරළා ඇත . මේ නිසාවෙන්ම ක‍්‍රීඩාවෙන් හරි හරියට මුදල් උපයන්නෝද වෙති. පැනමා පේපර්ස්වල රහස් එළියට එද්දි සචින් ටෙන්ඩුල්කාර්ගේ නම ද ඒ අතර කියවුණි. එසේම ගොල්ෆ් ක‍්‍රීඩකයින්, ටෙනිස් ක‍්‍රීඩකයින් මෙන්ම මෝටර් රථ ධාවන ශූරයින් ද ලොව ධනවත් ක‍්‍රීඩකයින් අතර ප‍්‍රකටය. එහෙත් මේ කියන්න යන්නේ ධනවත් ක‍්‍රීඩකයින් ගැන නොවේ. 2021 වසරේ වැඩිම මුදලක් ක‍්‍රීඩාව නිසා ඉපයූ ක‍්‍රීඩිකාවන් ගැනය. මෙම අනාවරණය සිදුකර තිබුණේ සුප‍්‍රසිද්ධ ෆොර්බ්ස් සඟරාව මගිනි.

එම සඟරාව දක්වන ආකාරයට 2021 වසරේ වැඩිම ආදායමක් ක‍්‍රීඩාවෙන් හම්බ කළ ක‍්‍රීඩිකාව වන්නේ ජපානයේ නයෝමි ඔසාකාය. සිව් වතාවක් ග‍්‍රෑන්ඞ් ස්ලෑම්ස් ටෙනිස් ශුරතාවන් ජයග‍්‍රහණය කර ඇති නයෝමි ඔසාකා ගිය වසරේ ක‍්‍රීඩාවෙන් ඉපයූ ආදායම දැක්වෙන්නේ ඩොලර් මිලියන 57.3කි. ශ‍්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 11400ක් ඉක්මවා යයි. රුපියල් කෝටිවලින් එය 1140කි. රුපියල් කෝටි 1140ක් නයෝමි ඔසාකා ක‍්‍රීඩාවෙන් උපයද්දී එම ලැයිස්තුවේ අංක දෙකට සහ තුනට සිටින්නේද ටෙනිස් ක‍්‍රීඩිකාවෝ වෙති. ඒ අන් කවුරුවත් නොව ලොව සුප‍්‍රකට ටෙනිස් සොයුරියන් වන විලියම්ස් අක්කා නගෝ දෙදෙනාය. එහිදී අක්කාට වඩා නංගී වැඩි ආදායමක් ටෙනිස් ක‍්‍රීඩාවෙන් පසුගිය වසරේ උපයා ඇත. නැගණිය වන සෙරීනා විලියම්ස් 2021 වසරේ ක‍්‍රීඩාවෙන් උපයා ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 45.9ක් වේ. ශ‍්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 9200 ඉක්මවයි. රුපියල් කෝටි වලින් 920 කි. නංගී දෙවන තැන ගනිද්දී අක්කා වන වීනස් විලියම්ස් තෙවන ස්ථානයේ සිටී. 2021 වසරේ වීනස් විලියම්ස් ක‍්‍රීඩාවෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 11.3කි.

එම ලැයිස්තුවේ හතරවන ස්ථානය වෙන් වී තිබෙන්නේ ද ඇමරිකානු ක‍්‍රීඩිකාවකටය. ඇය ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා සිමොනි බයිල්ස් නම් වේ. ඇය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 10.1කි. නැවතත් සිටින්නේ ද ටෙනිස් ක‍්‍රීඩිකාවකි. ඇය ස්පාඤ්ඤ ජාතික ගාබින් මුගුරුසා ය. ඩොලර් මිලියන 8.8 ක් 2021 වසරේදී ටෙනිස් ක‍්‍රීඩාවෙන් උපයා ගෙන තිබෙන ඇය පසුගිය වසර තුළ ක‍්‍රීඩාවෙන් වැඩිම මුදලක් ඉපයූ ක‍්‍රීඩිකාවන් පස්දෙනා අතර පසුවේ.

දකුණු කොරියාවේ ගොල්ෆ් ක‍්‍රීඩිකා කෝ ජින් යුන්ග් ඩොලර් මිලියන7.5ක් ක‍්‍රීඩාවෙන් උපයද්දී ඉන්දියානු බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා පී. වී. සිධු ඩොලර් මිලියන 7.2ක් ක‍්‍රීඩාවෙන් උපයා ඇත.

එසේම ටෙනිස් ක‍්‍රීඩිකා ආශ් බාර්ටි එම ලැයිස්තුවේ නව වන ස්ථානයේ පසු වන්නේ ඩොලර් මිලියන 5.9ක් උපයමිනි. පැසිපන්දු ක‍්‍රීඩිකා කැන්ඬේස් පාර්කර් ඩොලර් මිලියන 5.7 ක් උපයමින් 2021 වසරේ ක‍්‍රීඩාවෙන් වැඩිම ආදායමක් ඉපයූ ක‍්‍රීඩිකාවන් අතර දසවන ස්ථානයට පත් වී ඇත.

2021 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ක‍්‍රීඩිකාවන් දසදෙනා අතරෙන් පස් දෙනෙක්ම ටෙනිස් ක‍්‍රීඩිකාවන් වීම විශේෂ සිද්ධියකි. එසේම 2021 වසරේ එම ක‍්‍රීඩිකාවන් දසදෙනා ක‍්‍රීඩාවෙන් උපයා ඇති මුළු ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 166.6ක් වේ. එය 2020 වසරේ වැඩිම ආදායම් ඉපයූ ක‍්‍රීඩිකාවන් 10 දෙනා ඉපයූ ආදායමට වඩා සියයට 23ක වැඩි වීමක් බව ෆෝර්බ්ස් සඟරාව දක්වයි. මේ කාන්තාවන් 10 දෙනා එම වසරේ උපයා ඇති ආදායම ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 33200 ඉක්මවයි. රුපියල් කෝටිවලින් එය 3320 ඉක්මවූ අගයක් ගනී.

කුෂාන් සුබසිංහ

(දිවයින ඉරිදා සංග්‍රහය)