තාත්තා අගමැති වෙලා අයියා ක්‍රීඩා ඇමැති වුණත් නිළධාරීන් හිතන ක්‍රමය වෙනස් නොවුණොත් ක්‍රීඩාව ගොඩ ගන්න බැහැ – රෝහිත රාජපක්ෂගෙන සැර කතාවක්

    දේශපාලන බල පෙරළි හේතුවෙන් මෙරට ක්‍රීඩාව ඇතුළු බොහෝ ක්ෂේත්‍ර නන්නත්තාර වු හැටි ඉතිහාසයේ ඕනෑ තරම් සාධක සහිතව ඔප්පු කිරීමට සාක්කි තිබේ. මොන ආණ්ඩුව පැමිණියද 1996 න් පසුව මෙරටට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමට නොහැකිව දැනට වසර 24 කි. සුසන්තිකා ජයසිංහගෙන් පසුව වසර විස්සකින් ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට හැකි දක්ෂයකු බිහි කිරීමට ශ්‍රි ලංකාවට නොහැකිව තිබේ. එහෙව් රටක අනාගතයේදී ක්‍රීඩාව දියුණු වන්නේ කෙසේද?
    ක්‍රීඩාව හරි පාරේ ගමන් කිරිමට හැකි දේශපාලන ශක්තිය සහ ආශිර්වාදය ඇති වකවානුවක අනාගතය වෙනුවෙන් මෙරට ක්‍රීඩාව කෙසේ වෙනස් කළ යුතුද යන්න අපූරු සංවාදයක නිරත වීමට අපට හැකිවිය. ඒ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම සී.එච් කණ්ඩායමේ පුහුණුකරුවාද වන රෝහිත රාජපක්ෂ සමගිනි. “තාත්තා අගමැති වෙලා අයියා ක්‍රීඩා ඇමැති වුණත් වැඩක් නැහැ ක්‍රීඩාව හදන්නනම් නිළධාරීන් හිතන ක්‍රමය වෙනස් වෙන්න ඕන.” යනුවෙන් පවසන රෝහිත රාජපක්ෂ රග්බි ඇතුළු සමස්ත ක්‍රීඩාවටම ඔක්සිජන් ලබාදිය හැකි අයුරු අපූරුවට පැහැදිලි කළේය.
    ප්‍රශ්නය : ඔබ සී.එච්. කණ්ඩායමේ පුහුණුකරුවා මෙන්ම ක්‍රීඩකයකු වශයෙන්ද එළැඹෙන තරගවාරයේදී කටයුතු කිරීමට නියමිතයි. සී.එච්. කණ්ඩායම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?.
    පිළිතුර : අපි 2015 දී පරාජයට පත් වුණාට පස්සෙ කවුරුවත් අපිට කතා කළේ නැහැ. ඒ වෙලාවෙ සී.එච්. කණ්ඩායම අපිට රග්බි ගහන්න එන්න කියලා අවස්ථාව දුන්නා. අන්න ඒ නිසා තමයි එදා හිටපු සියලුම දෙනා අදත් සී.එච්. කණ්ඩායමේ ක්‍රීඩා කරන්නෙ. ඒ කාලයේදී සී.එච්. කණ්ඩායම අවසන් ස්ථානයේ හිටියේ. පරදින්නෙත් සෑහෙන ලකුණු පරතරයකින්. අපිට බැරි වෙලාවෙදි අත දුන්න ක්‍රීඩා සමාජයක් පුළුවන් වෙලාවෙදි අතහරින්න හොඳ නැහැ. ඒ ක්‍රමය අපේ ළඟ නැති නිසා තමයි මැරෙන්න හරි මේ ඉන්න කොල්ලො ටික එකා වගේ ඉන්නෙ. අපි තුන්වැනි තැනට ක්‍රීඩා සමාජය ගෙනාවා. සත් සාමාජික රග්බි තරගාවලිය ජයග්‍රහණය කළා. මේ රජය තව අවුරුදු පහක් හෝ දහයක් තියෙන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන අපිට උදව් කළ ක්‍රීඩා සමාජයත් එක්ක වැඩ කරන්න.
    ප්‍රශ්නය : සී.එච්. කණ්ඩායම බොහෝ දුරට අවසන් ස්ථානවල තමයි පසුගිය කාලයේ හිටියෙ. නමුත් දැන් උඩට ඇවිල්ලා තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
    පිළිතුර : ප්‍රධාන දේ තමයි අපි ළඟ ඉන්න ක්‍රීඩකයන්ව රැක බලා ගැනීම. මේ තරගවාරය ක්‍රීඩා කරලා එයාව අත හරින්නෙ නැහැ. එයාගෙ අනාගත ගැන අපි බලා ගන්නවා. පාසල් ක්‍රීඩකයන්ට තමයි අපි පළමු අවස්ථාව දෙන්නෙ. හැමෝම කරන්නෙ පුළුවන් තරන් වැඩ අරගෙන අත හැරලා දාන එකනෙ. රටේ රග්බි ක්‍රීඩාව ඉහළට ගේන්න මුලින්ම ක්‍රීඩකයන්ට රැකවරණයක් ලබා දිය යුතුයි. සී.එච්. කණ්ඩායමේ අපි ඒ වගකීම බාර ගන්නවා. අපි අධ්‍යාපනය වගේම පුහුණු පාඨාමාලාවලටත් ක්‍රීඩකයන්ට උදව් කරනවා. ඒ නිසා විශ්වාසයෙන් තමයි සියලු දෙනාම ඉන්නෙ.
    ප්‍රශ්නය : රගර් ක්‍රීඩාව ඉදිරියට ගේන්න සි.එච්. කණ්ඩායම කරන වැඩ පිළිවෙල පැහැදිලියි. නමුත් රටේ දක්ෂ රග්බි ක්‍රීඩකයන් බිහිකරන්න එක තැනකින් විතරක් පටන් අරන් පුළුවන් වෙයිද?
    පිළිතුර : රගර් කියන්නෙ ක්‍රිකට් වගේ ලොකුවට හම්බ කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි. ක්‍රීඩකයෙක් ඇවිල්ලා අවුරුදු දෙකයි තුනකයි ක්‍රීඩා කරන්නෙ ඊට පස්සෙ ඒ ක්‍රීඩකයා නන්නත්තාර වෙනවා. පාසල් කාලයේ ඉදලා ක්‍රීඩා කරලා අන්තිමට ඉගෙන ගෙනත් නැහැ. ඒ අයට පියන් රස්සාවක්වත් නැතිව අනාථ වෙනවා. අපි ඒ වගේ ක්‍රීඩකයන්ව දැකලා තියෙනවා. දැන් ආරක්ෂක අංශවල ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් වැඩියෙන් යන්නෙ එතන රස්සාව තියෙන නිසා. ක්‍රීඩකයකුට සෙල්ලම් කරන්න බැරි කාලයක වුණත් ජීවිත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් රක්ෂණයක් ලබාදෙන්න ඕන. කාගේ හරි කකුලක් කැඩුණොත් මොකද වෙන්නෙ. ඒ අයට ජීවත් වෙන්න ක්‍රමවේදයක් තියෙනවද? ඒ නිසා සියලුම රග්බි ක්‍රීඩකයන්ට රැකවරණයක් ජීවිත කාලයටම ලබාදෙන්න ක්‍රීඩා සමාජ මට්ටමින් පටන් ගත යුතුයි. එවිට රටේ රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තරයේ නිකන්ම ඉහළට යයි. මහනුවර ක්‍රීඩා සමාජ විතරයි ක්‍රීඩකයන්ව රැක බලා ගන්න ක්‍රමවේදයක් තියෙන්නෙ. ඒ නිසා තමයි ඒ කණ්ඩායම ඉහළට එන්නෙ. කොළඹ ක්‍රීඩා සමාජවල ඒ ක්‍රමය නැහැ.
    ප්‍රශ්නය : ඔබ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් වැඩ කරමින් කණ්ඩායම සාර්ථකත්වයට ගෙන ආවා. කොහොමද රග්බි පුහුණුකරුවෙක් වෙන්න එක පාරටම හිතුවෙ.
    පිළිතුර : මට රග්බි පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරන්න හැකි දැනුම තිබුණා. ඊට පස්සෙ මම ලංකාවෙ ළාබාලතම රග්බි පුහුණුකරුවා වශයෙන් තේරුණා. එතනදි තමයි මට යොවුන් කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණෙ. ඊට පෙර මම විද්‍යා විදුහලේ සහ තර්ස්ටන් විදුහලේ පුහුණුකරු වශයෙන් කටයුතු කළා.
    ප්‍රශ්නය : පරදින ක්‍රීඩා සමාජයක් උඩට ගේන්න මොන වගේ සැලසුම්ද සකස් කළේ?
    පිළිතුර : මුලින්ම ක්‍රීඩකයන්ට එන්න ඔවුන්ට අවශ්‍ය විශ්වාසය ලබා දුන්නා. අපි සී.එච්. කණ්ඩායමට ආවට පස්සෙ කිසිම බලපෑමක් කණ්ඩායම තෝරන වෙලාවෙ ආවෙ නැහැ. අපි ක්‍රීඩකයන්ගේ අනාගතය වෙනුවෙන් විශ්වාසය දුන්නා. 2015 ට කලින් තමයි ශ්‍රී ලංකාවේ රග්බි හොඳම කාලය තිබුණෙ. කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය තිබ්බා. ඒවායෙන් ක්‍රීඩකයන්ට සල්ලි ලැබුණා.
    ප්‍රශ්නය : ජාත්‍යන්තර රග්බි දින දර්ශණයට ඇතුළත් වෙන්න ශ්‍රී ලංකාවට තවමත් බැරි වෙලා තියෙනවා. මේකට මොකද්ද හේතුව.
    පිළිතුර : අපිට අයි.ආර්.බී. කැලැන්ඩර් එකට ඇතුළත් වෙන්න තිබ්බෙ තවත් අවුරුද්දයි. අපි ජාත්‍යන්තර තරගාවලි ජය අරගෙන උඩටම ඇවිල්ලා හිටිද්දී තමයි ආණ්ඩු මාරු වෙලා රග්බි වැඩ සටහන් නැවතුණේ. අපේ ක්‍රිකට් වලට විතරයි ආකර්ශණයක් හැදිලා තියෙන්නෙ. එන ආණ්ඩු වුණත් හිතන්නෙ ක්‍රිකට් විතරයි දියුණු කරන්න ඕන එතනින් විතරයි තැනක් තියෙන්නෙ කියලා. සෑම ක්‍රීඩාවකටම එක හා සමාන පහසුකම් ලබා දෙන්නෙ නැහැනේ. දැන් බලන්න ක්‍රිකට්වලට දෙන පහසුකම් ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් වලට, අපේ මලල ක්‍රීඩකයන්ට දෙනවද කියලා. මම හිතන්නෙ අපේ රටේ ක්‍රීඩාංගණ සියයක් හදලා පහසුකම් දාහක් හැදුවත් කවදාවත් ඇති වෙන්නෙ නැහැ. පහසුකම් නැතිව ක්‍රීඩාවක් දියුණු කරන්න බැහැ. අපේ කට්ටිය කියන්නෙ තියෙන ක්‍රීඩාංගණ ඇති මොකටද වියදම් කරන්නෙ කියලා. ක්‍රීඩාංගණ වැඩි වෙන්න වැඩි වෙන්න ක්‍රීඩකයන්ව වැඩි කරන්න පුළුවන්.
    අපි යටිතල පහසුකම් ලබාදෙන්න ඕන. රග්බි ක්‍රීඩාව නුවරට සහ කොළඹට සීමා වෙන්නත් හේතුව ඕක තමයි. අපේ ලංකාව කවදාවත් බුද්ධිය වර්ධනය කරගන්න වියදම් කරන්නෙ නැහැ. හැමදාම කළේ මොනව හරි භාණ්ඩවලට හෝ උපකරණවලට මුදල් යොදවන එක විතරයි. හැබැයි අපි අධ්‍යාපනයත් එක්ක බුද්ධිය වර්ධනය කළොත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඉතිං ගම්වල පුහුණුකරුවෙක් වෙන්න වියදම් කරන්න කවුරුත් කැමැති නැහැනේ. ඒ නිසා ඒ අයට ඒ පහසුකම් ලබාදුන්නොත් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. දැන් බලන්න ක්‍රිකට් පුහුණුකරුවෙක්ගේ පඩිය රුපියල් මිලියන හයක් වෙද්දි රග්බි පුහුණුකරුවකුට ලැබෙන්නෙ රුපියල් තිස්දාහක් හෝ විසිදාහක් වගේ. ඉතිං පුහුණුකරුවන්ට තියෙන තත්ත්වය මොකද්ද? ඒ මුදල ගන්න කවදාවත් රග්බි පුහුණුකරුවෙක් වෙන්න කවුරුත් උත්සහ කරන්නෙ නැහැ. මේ අසමතුලිතතාව නිසා තමයි වෙනත් ක්‍රීඩා උඩට එනනෙ නැත්තෙ.
    ප්‍රශ්නය : දැන් ඔබේ වැඩි මහල් සහෝදරයා ක්‍රීඩා ඇමැති. ඔබට පුළුවන්නේ මේ කියන සැලැස්මවල් සම්බන්ධව ඔහුත් සමග සාකච්ඡා කරලා අඩු පාඩු පෙන්වා දෙන්න.
    පිළිතුර : ඉදිරියේදී නාමල් අයියා ක්‍රීඩා ඇමැතිවරයා විදිහට ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා. එයා රග්බි ක්‍රීඩාවේ සහ ක්‍රීඩාවේ හිටපු කෙනෙක්. ඉස්සර සර්ෆින් ගත්තහම මිනිස්සු කිව්වෙ මේක ටැටෝ ගහලා කොණ්ඩ වවලා ඉන්න බීච් බෝයිස්ලගෙ ක්‍රීඩාවක් කියලනෙ. ඉතිං සර්ෆින්වලින් අපිට කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද. අයියා ආවට පස්සෙ ඒ ගැන අවධානය යොමු කළා. දැන් ඔස්ටේ්‍රලියාව ගත්තහම ලොකු අනුග්‍රහකයන් ඉන්න ක්‍රීඩාවක් තමයි සර්ෆින් කියන්නෙ. අපේ කොල්ලන්ට ටැලන්ට් එක තියෙනවනම් ඇයි අත දෙන්න බැරි. ඒ දක්ෂතාව තියෙන කට්ටියව රස්තියාදුකාරයෙක් කියලා පැත්තකට දාන එක නෙමෙයි කරන්න ඕන. ඒ නිසා ක්‍රීඩා ඇමැතිවරයා විදිහට ඔහු ලොකු දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ප්‍රශ්නය : රග්බි ක්‍රීඩාව කෝවිඞ් 19 වසංගතයත් සමග තවම අපේ ආරම්භ කරන්න අවසරය නැහැ. මොකද මේ ගැන ඔබේ අදහස
    පිළිතුර : මම අයියට කිව්වෙත් මේක ක්‍රීඩකයන්ට ලොකු අසාධාරණයක් වෙනවා කියලා. මොකද අන්තිම අවුරුද්ද සෙල්ලම් කරන ක්‍රීඩකයන්ට තරගාවලිය අවසන් කරන්න බැරි වෙලා තියෙනවා. දැන් තර්ස්ටන් කණ්ඩායමට මම හිතන්නෙ අවුරුදු 20 කට විතර පස්සෙ ‘ඒ’ කාණ්ඩයට එන්න තිබුණ අවස්ථාව මෙයින් නැති වෙනවා. අපෙත් ජීවිතයේ ආසාවෙන්ම රග්බි ක්‍රීඩා කළේ ක්‍රීඩා සමාජයේදී නෙමෙයි පාසලේදී ඒ නිසා අන්තිම අවුරුද්ද ක්‍රීඩා කරන ළමයි ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ අවස්ථාව එන්නෙ නැති එක මම අයියට කිව්වා. හැබැයි එහෙම කියලා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වෛද්‍යවරුන්ගේ උපදෙස් නැතිව රග්බි ආරම්භ කරන්න බැහැ. ලෙඩ සහ කෝවිඞ් ගැන දන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒ නිසා මගේ යෝජනාව කෝවිඞ් එක සම්පුර්ණයෙන් තුරන් වෙනකන් ඉදලා රග්බි පටන් ගන්නවනම් දැන් අවුරුදු 19 න් පහළ ගහන පාසල් රග්බි වයස් කාණ්ඩය අවුරුදු 20 න් පහළ කරන්න. එතකොට ප්‍රශ්නය ඉවරයි. ලෝකයේ රග්බි ගහන්නෙ වයස අවුරුදු 21 න් පහළ. ඒ වගේ සැලැස්මකට අනිවාර්්‍යයෙන් යන්න ඕන.
    ප්‍රශ්නය: ඔබ ප්‍රබල දේශපාලනක පවුලක හිටියත් වෙනත් පැති ඔස්සේ තමයි ඉදිරියට යන්නෙ. අනාගතයේදී රග්බි පුහුණුකරුවකු වශයෙන් තියෙන ඉලක්ක මොනවද?
    පිළිතුර : මම පුහුණුකරුවෙකු වශයෙන් ආවෙ මුදල් බලාගෙන නෙමෙයි. මම විද්‍යා විදුහලටත් නිකන් පුහුණුකරුවකු වශයෙන් සේවය කළේ. තර්ස්ටන් විදුහලටත් එහෙමයි. ඒ අය මගෙන් ඇහුව්වම මම කිව්වෙ පුළුවන් කීයද ඒ ගැන කැමැතිනම් දෙන්න නැතිනම් එපා කියලා. මොකද අපි මුදල් හොයන්න ක්‍රීඩාවට ආවෙ නැහැ. අපේ ව්‍යාපාර තියෙනවා මුදල් හොයන්න ඕනනම්. හැබැයි මට ලොකු පාසල්වලින් පුහුණුකරු වෙන්න ආරාධනා කළා. නමුත් මම කැමැති පොඩි පාසලක කණ්ඩායමක් යට ඉදන් උඩට ගේන්න. පැය හතර පහ බස් එකේ ඇවිල්ලා රග්බි ගහන ළමයි තර්ස්ටන් එකේ ඉන්නවා. මිනිසුන්ට උදව් කරලා ලැබෙන පින තමයි වැදගත්. මම හැබැයි අධ්‍යාපනයට මුල්තැනක් දෙනවා. මට පීඑච්ඩී එකක් තියෙනවා. මම පුහුණුකරුවෙක් වෙන්න ආවේ අහිංසක ළමයින්ට උදව් කරන්න මිසක් ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙන්න ඕන නැතිනම් ජාත්‍යන්තර පුහුණුකරුවෙක් වෙන්න ඕන කියන එක හිතාගෙන නෙමෙයි.
    ප්‍රශ්නය : කණ්ඩායමක් දිනවන්න හැම තැනම ඉන්න දක්ෂයන්ව අරගෙන පුළුවන්ද?
    පිළිතුර : අපේ කට්ටියට විශ්වාසය අඩුයි. අද ලෝකයේ හොඳ පාපන්දු ක්‍රීඩකයන් වන ලයනල් මෙසීවයි රොනාල්ඩෝවයි එක කණ්ඩායමකට ගන්නවද? එහෙම වුණොත් වෙන්නෙ ඒ දෙන්නා ගෝල් ගන්න ෆයිට් කරන එක විතරයි. කණ්ඩායම දිනන්න හැගීමෙන් වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා අවස්ථාවට ගැලපෙන දක්ෂයා තෝරගන්න ඕන. පුහුණුකරු කියන්නෙ ක්‍රීඩකයෙක්ව හැඩ තලයේ ඉදන් හදන එක නෙමෙයි. එයාගෙ දක්ෂතාවට ගැලපෙන රාජකාරිය ලබාදීමයි.
    ප්‍රශ්නය : ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රග්බි කොතන තියේවිද?
    පිළිතුර : මම හිතන්නෙ රග්බි ඔලිම්පික් ක්‍රීඩාවක් විදිහට යනවනම් සත් සාමාජික රග්බිවලට සැලැස්මක් ගේන්න ඕන. අපේ තියෙන්නෙ 15 සාමාජික රග්බි සැලැස්මක් විතරයි. මුලින්ම රග්බි සංගමය වෙනස් වෙන්න ඕන. මේ සියලු සංගම් දේශපාලනීකරණය වෙලානෙ තියෙන්නෙ. ඒ අයගේ මානසිකත්වය වෙනස් කරන්නෙ නැතිව ඇමැති හොඳ වුණත් වැඩක් නැහැ. දැන් පාසල් රග්බි සංගමයයි ශ්‍රී ලංකා රග්බි සංගමයයි කියන දෙකක් හදාගෙන ගහ ගන්නෙ. එහෙම රගර් හදන්න බැහැ. එක සැලැස්මකට යන්න ඕන. හැමදාම රග්බි නුවරයි කොළඹයි විතරක් ගහලා හරි යන්නෙ නැහැ. ඒ නිසා රට වටේම පොඩි පොඩි රග්බි ලීග් තරගාවලි තියන්න ඕන.
    ප්‍රශ්නය : රග්බි ගහන්න ක්‍රීඩාංගණ ඇතිද?
    පිළිතුර : රග්බි ගහන්න අද කොළඹින් ක්‍රීඩාංගණයක් ගන්න කීයක් යනවද. හොඳම උදාහරණය තමයි රේස්කෝස් එක. ලක්ෂ දෙකහමාරක් දීලා ඒක බුක් කරගෙන මැච් ගහන්න පුළුවන් කාටද? ක්‍රීඩාංගණ හදලා තියෙන්නෙ ළමයින්ට සෙල්ලම් කරන්න. ඒවයේ මිල ලක්ෂ ගණන් දවසට දාලා කවුරුත් සෙල්ලම් කරන්නෙ නැතිව නිකන් තියෙනවා. මේf දේවල් වලට සැලැස්මක් හදන්න ඕන. තාත්තා අගමැති වෙලා මුදල් අමාත්‍යාංශය එයාගෙ යටතෙ තිබුණත් මේවා එකපාරට වෙනස් කරන්න බැහැ. ලක්ෂ දෙකහමාරක් ගන්න ක්‍රීඩාංගණයක් එක පාරට දහ දාහට දෙන්න කියන්න පුළුවන්ද? ඒකට මේ ක්‍රීඩාංගණවල අයිතිය දරන නිළධාරීන්ගෙ සිතන ක්‍රමය වෙනස් වෙන්න ඕන. ජීවිතේට ක්‍රීඩාවක් නොකරපු මනුෂ්‍යයකුට රගර් ක්‍රීඩාංගණයක් භාර දුන්නට පස්සෙ ක්‍රීඩාවට උදව් කරන්නෙ නැහැනෙ. ඒක තමයි රේස්කෝස් එකේ කවුරුත් මැච් ගහන්න යන්නෙ නැත්තෙ. ලක්ෂ දෙකහමාරක් දීලා ඇත්තටම කවුද යන්නෙ?
    ක්‍රීඩාංගණයක් ගණන් උස්සල පාළුවට යනවට වැඩිය සෙල්ලම් කරනවනම් කොච්චර ලස්සනද කියලා මේ අය හිතන්න ඕන. ජනාධිපති, අගමැති ක්‍රීඩා ඇමැති හිටියත් මේ නිළධාරීන් සිතන ක්‍රමය වෙනස් කරගන්නෙ නැතිව රජයකට එක පාර මේවා වෙනස් කරන්න බැහැ. සමහරු හිතන් ඉන්නෙ 1800 ගණන්වල තියෙන ක්‍රීඩා වගේ කියලා. රේස්කෝස් එක අශ්වය දුවන තැනක් කියලත් හිතන් ඇති. මේ සියලු දේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ක්‍රීඩා අමාත්‍යාංශය යටතට අරගෙන නඩත්තු කරන ක්‍රමයක් ඇති කරන්න ඕන. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම රේස්කෝස් එකේ පුහුණුවීම් කරත් රජයට සල්ලි ගෙවන්න ඕන. ඇත්තටම මේක මහ විහිළුවක්. කිසිම සාධාරණයක් නැහැ. රග්බි වලට විතරක් නෙමෙයි පාපන්දුවලට හරි ක්‍රීඩාංගණයක් නැහැ. පැසිපන්දුවලට නැහැ. ජාතික ක්‍රීඩාව වන වොලිබෝල්වලටත් නැහැ. ඒ නිසා අදාළ ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩාංගණ ලබා දෙන්න ඕන.

    Advertisement