ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් සටනට එන කණ්ඩායම් තෝරන්න විකල්ප ක්‍රමයක්

උද්ගතවි ඇති ගෝලීය වසංගතයක් වන කෝවිඞ් 19 හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පැමිණෙන කණ්ඩායම් දෙක තෝරා ගැනීම සඳහා නව ක්‍රමයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.
කෝවිඞ් 19 න් වෛරසය හේතුවෙන් රටවල් කිහිපයකටම මේ වන විට ටෙස්ට් තරගාවලි බොහොමයක් අහිමිව ඇති නමුත් එම තරගාවලි පවත්වන දින තවමත් ස්ථිරවී නොමැත. ඒ අනූව ඉදිරි මාස කිහිපයේදීද අදාළ තත්ත්වය හේතුවෙන් ටෙස්ට් තරග පැවැත්වීමට නොහැකිව කල් ගියහොත් 2021 වසරේ ජුනි මාසයේදී එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයකට කණ්ඩායම් තෝරා ගැනීමට විකල්ප ක්‍රමයක් භාවිතා කළ යුතුව තිබේ.
අයි.සී.සී.ය විසින් විස්සයි විස්ස ලෝක කුසලානද කල් දැමු අතර ඉදිරි වසර දෙක ඇතුළත ඔවුන්ට විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් සහ පන්දුවාර පනහ ලෝක කුසලානයක් සංවිධානය කිරීමේ දුෂ්කර කර්තව්‍යයකට මුහුණ දීමට සිදුව ඇත. ඒ අතරවාරයේදී ටෙස්ට් ලෝක ශූරතාවද කල් දැමුවහොත් අයි.සී.සී. ලෝක ශූරතා එකලඟ ගැටීමක් පවතින බැවින් යොදාගත් පරිදි ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමට හැකි සාර්ථක ක්‍රමයක් සම්බන්ධව එංගලන්තයද මේ වන විට අවධානය යොමු කර තිබේ.
2019 අගෝස්තු මසදී ආරම්භ වු ටෙස්ට් ලෝක ශූරතාවට අයත් සම්පුර්ණ තරග සංඛ්‍යාව 72 කි. නමුත් මේ වන විට පවත්වා ඇති සමස්ත තරග සංඛ්‍යාව 34 කි. ඒ අනුව තවත් තරග 38 ක් මාස අටක් ඇතුළත පැවැත්වීමේ දුෂ්කරතාවක් කෝවිඞ් 19 න් හේතුවෙන් පැන නැගී තිබේ.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මේ සම්බන්ධව පවසන්නේ මෙවැනි අදහසකි. “ක්‍රීඩා නොකල තරගමාලාවේ ලකුණු සමග කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඔවුන් දැනටමත් අවධානය යොමු කරමින් සිටිනවා. අවසන් තරගයට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට ක්‍රමයක් සොයනවා.” යනුවෙනි.
මේ වන විට බංග්ලාදේශය, පාකිස්තානය, ඔස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ටෙස්ට් තරගාවලි කල් දමා තිබේ. ශ්‍රී ලංකාව පසුගියදා බංග්ලාදේශ සංචාරය පැවැත්වීමට උත්සහ කළද එයද අසාර්ථක විය. ඉදිරි මාස හත ඇතුළත එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සංචාරය කිරිමටද නියමිතය. නමුත් එම රටවල ඇති කෝවිඞ් 19 නීති රීති ඊට හරස් වනු ඇති බවද හැරිසන් පවසයි.
“අපේ රටට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දුන් සහන සම්බන්ධව අපේ රජය සමග අප කටයුතු කළ ආකාරයටද සෑම රජයක්ම කටයුතු කරන්නේ නැහැ. අපේ ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට අවශ්‍ය සෞඛ්‍ය සහ යහපැවැත්මට අහිතකරන කිසිවක් සඳහා අපි අත්සන් කරන්නේත් නැහැ. ” යනුවෙන් හැරිසන් වැඩිදුරටත් පවසයි.
එංගලන්ත ක්‍රිකට් ආයතනට අදාළ වෛරසයේ බලපෑම හේතුවෙන් පවුම් මිලියන 100 ක් හෙවත් ඩොලර් මිලියන 127 ක් පසුගිය මාස කිහිපයට අහිමිව තිබේ. එබැවින් ඔවුන්ගේ ශ්‍රම බලකායද 20% කින් කප්පාදු කර ඇත. ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ශ්‍රී ලංකාව, ඔස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නවය තරග වදිනු ලබයි.
ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහන අනූව ඉන්දියාව ලකුණු 360 ක් ලබා පෙරමුණේ පසුවන අතර ඔස්ටේ්‍රලියාව ලකුණු 296 ක් ලබා දෙවැනි තැනත් එංගලන්තය ලකුණු 292 ක් ලබා තෙවැනි තැනත් පසුවේ. නවසීලන්තය ලකුණු 180 ක් ලබා සිව්වැනි තැනත් පාකිස්තානය ලක-ණු 166 ක් ලබා පස්වැනි තැනටත් පත්ව තිබේ. ශ්‍රී ලංකාව ලකුණු 80 ක් ලබා හය වැනි තැනටත් බටහිර ඉන්දීය කොදෙව් ලකණු 40 ක් ලබා හත්වැනි තැනටත් දකුණු අප්‍රිකාව ලකුණු 24 ක් ලබා නව වැනි තැනටත් පත්ව ඇත. අවසන් ස්ථානයේ බංග්ලාදේශ පසුවේ.