රංජන් මඩුගල්ලේගෙන් ද්විත්ව ශතකයක් සමග ලෝක වාර්තාවක්

ටෙස්ට් තරග 200ක් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන තරග තීරක රංජන් මඩුගල්ලෙ මහතා සමත්විය. එය ලෝක වාර්තාවක් ලෙසද සැලකේ. මඩුගල්ලේ මහතා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (21දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙම දස්කම දැක්වීමට සමත්විය. මේ වනවිට ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් තරග තීරකයෙකු ලෙස කටයුතු කර ඇත්තේද මඩුගල්ලේ මහතායි.
1993 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙකු ලෙස වැඩ කටයුතු ආරම්භ කළ මඩුගල්ලෙ මහතා මෙම වසර වනවිට වසර 28ක් තරග තීරකයෙකු ලෙස කටයුතු කරමින් සිටියි.
ටෙස්ට් තරග 113ක් තරග තීරකයෙකු ලෙස කටයුතු කළ එංගලන්තයේ ක්‍රිස් බ්‍රෝඩ් දෙවැනි ස්ථානයේද ටෙස්ට් තරග 103ක් තරග තීරකයෙකු ලෙස කටයුතු කළ නවසීලන්තයේ ජෙෆ් ක්‍රෝ තෙවැනි ස්ථානයේද මඩුගල්ලේ මහතාට පිටුපසින් පසුවෙති.