අර්ජුනගේ පරාජයට ඉම්රාන් ඛාන්ගෙන් උත්තේජනයක්

මගේ පළමු දේශපාලන පරාජය හරියට මගේ පළමු ටෙස්ට් තරගය වගේ
හිටපු පාකිස්තාන් ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වත්මන් පාකිස්තාන් අගමැතිවරයා වේ. හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග අද නිකන්ම අර්ජුන රණතුංගය. ඔහුට පාර්ලිමේන්තුවේ තිබූ ඇමැති පට්ටම මෙන්ම මන්ත‍්‍රී පට්ටමද පසුගිය මැතිවරණයෙන් පසුව අහිමිව ගියේය.
ඉම්රාන් ඛාන් පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණ කළ කතාවේදී අර්ජුනට දිරි වඩන කතාවක් කළේය. ‘‘මම වසර 14 ක් පරාජය වෙලා තමයි මෙතනට ආවේ. ඒ කාලයේ මට කවුරුත් හිටියේ නැහැ. මම පරදින්න කැමැති නැහැ. මගේ පළමු දේශපාලන පරාජය හරියට මගේ පළමු ටෙස්ට් තරගය වගේ. ඒ නිසා මට පරාජය දරාගෙන ඉදිරියට යන්න ක‍්‍රිකට් විශාල පාඩමක් කියා දුන්නා.’’ යැයි ඉම්රාන් කියයි.
‘‘මගේ පැරණි සගයන් අද මෙතන ඉන්නවා දැකීම සතුටක්. මම මුලින්ම ලංකාවට පැමිණ තරග කරන කාලයේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන අවබෝධයක් ලබා ගත්තා. ලංකාවේ ක‍්‍රීඩකයන් එදා හිතුවෙ ඔවුන්ට කවදාවත් දිනන්න බැරි වෙයි කියලා. අපිත් එංගලන්තයේදී කී‍්‍රඩා කරන විට ඔය මානසිකත්වයේ හිටියා. පරදින මානසිකත්වය නැති කරගත්තාම අපිට දිනන්න පුළුවන් වුනා. ශ‍්‍රී ලංකාවටත් වුණේ ඒකයි.’’
‘‘කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම හොඳ ආත්ම ශක්තියක් තියෙන කණ්ඩායමක්. ඔවුන් විශ්වාසය වර්ධනය කරගත්තා. දිනන මානසිකත්වයට පැමිණියා. අර්ජුන මම ඔබේ කැපවීම අගය කරනවා. ඔබ අධිෂ්ඨානශීලීව අපේ රටේ ලාහෝර් නුවර තිබුණ ලෝක කුසලාන දිනා ගත්තා. ඒ ජයග‍්‍රහණය දැකීම මට විශාල සතුටක් වුණා. ඔබලාට ඉදිරියට යා හැකියි.’’ යනුවෙන් කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේ පැවැති රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකදී ඉම්රාන් ඛාන් සඳහන් කර සිටියේය.