ආසියානු කුසලාන ශ‍්‍රී ලංකාවට

ලෝක වංසගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරස ව්‍යාප්තය හේතුවෙන් පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබු ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
අදාළ සත්කාරකත්වය ලබා ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය සහ ආසියානු ක‍්‍රිකට් කවුනසිලය සමගද සාකච්ඡුා කර තිබේ. ‘‘මේ වන විට ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වය අනූව අපි පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයත් එක්ක කතා කළා තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධව. ඔවුන් එකඟ වුණා අපිට එය ලබාදෙන්න. ඒ වගේම ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයත් එකඟ වුණා. අපි වීඩියෝ තාක්ෂණය ඔස්සේ තමයි සාකච්ඡුාව පැවැත්වූයේ.’’
කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වීම සම්බන්ධව ස්ථිර එකඟතාවක් ලැබෙන තුරු ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ දින ප‍්‍රකාශයට පත්කිරීමට ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයට නොහැකිව තිබේ.
පාකිස්තානයේ කොරෝනා රෝගය ශීග‍්‍රයෙන් ව්‍යාප්ත වුවද ශ‍්‍රී ලංකාවේ එය පාලනය කර තිබීම සහ ඉන්දියාව පාකිස්තානයට යෑම ප‍්‍රතික්ෂේප කිරීම මත අදාළ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමට අත්උදව්වක් වී තිබේ. නමුත් පාකිස්තානයේ තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන්ද කලින් යෝජනා වී තිබුණි.
රටවල් හයක් තරග වදින අදාළ තරගාවලිය ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ වන විටත් සත්කාරකත්වයට අවශ්‍ය ක‍්‍රම සම්පාදනය කරමින් පසුවේ. අදාළ තරගාවලිය සත්කාරක්වය කිරීම සඳහා පළමුව රජයේ අවසරය ලබාගත යුතුඅතර කෝවිඞ් 19 වසංගත තත්ත්වය අනුව තරගාවලිය පැවැත්විය හැකි සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයන් අනූව එය සිදුකළ යුතුවේ.
15 වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වෙන අතර මෙම තරගාවලිය 1984 දී ආරම්භ වී තිබේ. එහිදී ඉන්දියාව හත් වරක් ශූරතාව දිනා ගෙන ඇති අතර ශ‍්‍රී ලංකාව පස්වරක් සහ පාකිස්තානය දෙවරක් වශයෙන් ශූරතාව දිනාගෙන තිබේ. අවසන් වරට 2014 වසරෙන් පසුව ශ‍්‍රී ලංකාවට ආසියානු කුසලාන දිනා ගැනීමට නොහැකි වූ අතර 2016 සහ 2020 ආසියානු කුසලාන අවසන් මහා තරග දෙකම ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණි. එම ශූරතා දෙකම ඉන්දියාව දිනා ගත්තේය.
ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමද තරගාවලියට සහභාගී වේ. ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් කුවේට්, සිංගප්පුරුව සහ හොංකොං යන කණ්ඩායම් තරග වදිනු ලබයි.