‘තැනක් ගන්න අවුරුදු දහයක් දෙවියන් ගැන විශ්වාසය තිබ්බා’ – භානුක රාජපක්ෂ

ජාතික කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට කවදා හෝ අවස්ථාවක් ලැබෙන බව තමා බලාපොරොත්තු වූ බවත් ඒ වෙනුවෙන් දෙවියන් වහන්සේව විශ්වාස කළ බවත් 27 හැවිරිදි භානුක රාජපක්ෂ පවසයි.
‘‘ මම අවුරුදු දහයක් බලා ගෙන හිටියා ජාතික කණ්ඩායමට එන්න. එක එක දේවල් මට ඒ කාලයේ සමහරු කිව්වා. නමුත් මම දෙවියන් වහන්සේ ගැන ගොඩක් විශ්වාස කරනවා. කොහොම හරි මට සුදුසු අවස්ථාවේදී ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මට පාසල් කාලයේ ඉදන් මේ තැනට එන්න ගොඩක් කට්ටිය උදව් කළා.’’ යැයි භානුක පවසයි.
‘‘මම හිතන්නෙ මුළු කණ්ඩායමක් වශයෙන් විතරක් නෙමෙයි රටක් වශයෙනුත් අපි සතුටු වෙන්න ඕන ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම පරාජය කිරීම ගැන. අපේ මුළු කණ්ඩායම එකමුතුව ක‍්‍රීඩා කර නිසා තමයි ජය ගන්න ලැබුණේ.’’
‘‘මම අංක තුන තමයි පාසල් කාලයේ ඉදලා ක‍්‍රීඩා කළේ. අසන්ත ද මෙල් මහතා විස්සයි විස්ස කැප් එක දෙද්දි මට කිව්වෙ දන්න පුරුදු ක‍්‍රීඩා විලාශයෙන් ක‍්‍රීඩා කරන්න කියලා. පුහුණුකරුත් මට කිව්වෙ ඒකමයි. හැබැයි මට ඕන වෙලා තිබ්බා ගොඩක් වෙලා පිතිකරණයේ යෙදෙන්න. නවකයෙක් විදිහට එකපාරට කණ්ඩායමට ඇවිල්ලා අංක තුන ක‍්‍රීඩා කරනවා කියන එක ලෙහෙසි නැහැ. හැබැයි පළමු තරගයේදී පළමු පන්දු දෙක තුන මම පීඩනයක හිටියා. හැබැයි ලකුණු එනකොට මට පීඩනය නැතිව ගියා.’’