‘කොල්ලො’ මාර උනන්දුවෙන් දිනුම සොයනවා’ – රොමේෂ් රත්නායක

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 133 ක සබඳතාවක් පැවැත්වුවද තරගය තවම ජය ගෙන නොමැති බවත් පස්වැනි දිනයේදී තණතීරුවේ ලකුණු ලබා ගැනීම පහසු නොවන බව ශ‍්‍රී ලංකා වැඩ බලන ප‍්‍රධාන පුහුණුකරු රොමේෂ් රත්නායක සඳහන් කරයි.
‘‘තවම අපි දිනලා නැහැ. තව ලකුණු 135 ක් ලබා ගත යුතුයි. ඒ නිසා අපි ප‍්‍රවේශමෙන් ක‍්‍රීඩා කරන්න ඕන. හැබැයි අපේ ළමයින්ට මේ තරගය දිනා ගන්න පුදුම වුවමනාවකින් ඉන්නෙ. ඒ තරමට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වෙලා. දකුණු අප‍්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය දිනා ගනිද්දීත් තිබුණෙ මේ මානසික විශ්වාසය තමයි.’’ යැයි රත්නායක මහතා පවසයි.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා පැවැත්වූ ශතක සබඳතාව විශාල අස්වැසිල්ලක් කණ්ඩායමට ලබා දුන් බවද රත්නායක පවසයි. ‘‘ආරම්භක සබඳතා විශිෂ්ටයි. ලෙහෙසි නැහැ මේ තණතීරුවේ ලකුණු ලබා ගන්න. කඩුල්ල දඟ කැවෙනවා විතරක් නෙමෙයි ඉපිලීමකුත් තියෙනවා. 266 ක් ගහනවා කියන එක මේ තණතීරුවේ පහසු නැහැ. අවසන් දිනයේ ලකණු 135 ක් ගන්න එකත් අපහසුයි. නමුත් කොල්ලො ටික ධනාත්මක හොඳ උනන්දුවකින් ඉන්නවා ඉදිරියටම යන්න. විශේෂයෙන් දිමුත් නායකත්වය පස් වුණාට පස්සෙ කණ්ඩායමේ සියලූම කොල්ලන්ගෙ හොඳ මානසික සහ ධනාත්මක චින්තනයක් ඇති වෙලා තියෙනවා.’