දඹුල්ලට මහනුවර පරදී

කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ දඹුල්ල වයිකිං කණ්ඩායම (03 වැනිදා) සමත් විය. ඒ අනුව අදාළ ජයත් සමගින් ලංකා ප්‍රිිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වන්නට දඹුල්ල කණ්ඩායම සමත් විය.
පිතිකරුවන්ට යෝග්‍ය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පන්දු 120කදී ලකුණු 157ක් ලබා ගැනීමේ අභියෝගයට පිළිතුරු දීමට පිටියට පිවිසි දඹුල්ල පිතිකරුවෝ පන්දුවාර 19.2කදී කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ. දඹුල්ල ඉනිමේ පළමු කඩුලු 3 මුලු ලකුණු 56ක් තුළ බිඳ වැටුණද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56කින් ඉනිම ශක්තිමත් කිරීමට ඇන්ජලෝ පෙරේරා සහ දසුන් ශානක සමත් විය.
ඇන්ජලෝ පෙරේරා පන්දු 49කින් ලකුණු 67ක් වාර්තා කළ අතර හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් එල්ල කිරීමටද සමත් විය. සිය කණ්ඩායම ජයග්‍රාහි මාවතට රැගෙන ආ දසුන් ශානක ලකුණු 33ක් පන්දු 23කදී වාර්තා කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනූ මහනුවර නායකයා පළමුවෙන් පිති ප්‍රහාරයේ යෙදීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ඇරඹූ කුසල් පෙරේරා සහ රහමනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ලට ලකුණු 33ක් එක් කළේය. අනතුරුව පිටියට එක් වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා සමග එක්ව මහනුවර ඉනිම වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක් දෙවැනි කඩුල්ලට එක් කළේය. කුසල් පෙරේරා පන්දු 34කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 41ක් මහනුවර ඉනිමට එක් කිරීමට සමත් වෙද්දී කුසල් මෙන්ඩිස් පන්දු 45කදී ලකුණු 55ක් රැස් කළේය. එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.
තරගයේ 16 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මලින්ද පුෂ්පකුමාර පිට පිටම පන්දු දෙකකදී බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 13කට සහ සීකුගේ ප්‍රසන්න ලකුණු නොලබා දවා ගැනීමට සමත් විය. ඒ අනුව මහනුවර ඉනිමේ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම මත දඹුල්ල කණ්ඩායමට අභයෝගයක් එල්ල කළ හැකි ලකුණු පුවරුවක් වාර්තා කිරීමට මහනුවර පිතකරුවන් හට නොහැකි විය.
ලකුණු තත්ත්වය
මහනුවර ටස්කර්ස් පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 156යි (රහමනුල්ලා ගුර්බාස් 15, කුසල් පෙරේරා 41, කුසල් මෙන්ඩිස් 55, බ්‍රෙන්ඩන් ටේලර් 13, අසේල ගුණරත්න (නොදැවී) 18, කසුන් රාජිත 16/2, මලින්ද පුෂ්පකුමාර 28/2)
දඹුල්ල වයිකිං පන්දුවාර 19.2කදී කඩුලු 5කට ලකුණු 157යි (නිරෝෂන් දික්වැල්ල 04, උපුල් තරංග 19, ඇන්ජලෝ පෙරේරා 67, සමිත් පටේල් 11, දසුන් ශානක 33, අසේල ගුණරත්න 27/1)