යාපනය ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියට

එල්.පී.එල්. තරගාවලියේ අපරාජිත බව රැක ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩාම අද (03 දා) ගාල්ල ග්ලැඞ්යේටර්ස් කණ්ඩාමට එරෙහිව කඩුලු 5ක ජයක් ලබමින් තරගාවලියේ සිව්වැනි ජය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව පළමු වටයේදී සහභාගි වූ තරග සියල්ලම ජයගත් යාපනය කණ්ඩායම ප්‍රසාද ලකුණු 08 ක් ලබමින් අවසන් පූර්ව වටය සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට සමත් වූ අතර ගාල්ල කණ්ඩායම ලද පිට පිටම පස්වැනි පරාජය ඒ සමගම වාර්තා විය.
විස්සයි විස්ස තරගවලට සුපිරි හපනෙක් වන සහිඞ් අෆ්රිඩිගේ නායත්වය පෞද්ගලික හේතුවක් නිසාවෙන් ගාල්ල කණ්ඩායමට අහිමිවීමෙන් එම ඔටුන්න භානුක රාජපක්ෂට හිමිවිය. ඒ අනුව කාසියේ වාසිය දිනු ගාල්ල නායකයා සිය සගයන් සමග එක්ව පළමුව පිති ප්‍රහාරය දියත් කරමින් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තේය.
ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඔසවා තැබීමේදි ආරම්භක පිතිකරු යුගල වූ ධනුෂ්ක ගුණතිලක සහ අශාන් අලී පළමු කඩුල්ලට පන්දු 52 කදී ලකුණු 67 ක් එක් කළේය. එහිදී ගුණතිලක තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 44 කදී හතරේ පහර හතක් සමග ලකුණු 56 ක්ද අශාන් අලී පන්දු 25 කදී ලකුණු 29 ක්ද ලබා ගත්තේය.
ගාල්ල ඉනිම ලකුණු 150 සීමාව ඉක්මවා යෑම වෙනුවෙන් අංක තුන පිතිකරුවා වූ අසාම් ඛාන් පන්දු 14 කදි හයේ පහර සහ හතරේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 25 ක් ලබා ගත්තේය. මැද පෙළින් නැංගුරම් දැමූ චෙඞ්වික් වෝල්ටන් පන්දු 14 කදි හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබා ගැනීමට සමත්විය.
යාපනය ඉනිමේ පළමු කඩුල්ල මුලු ලකුණු 29දී බිඳ දැමීමට ෂෙහාන් ජයසූරිය සමත් වූවද අවිශ්ක ප්‍රනාන්දු සමග එක්වූ මිනෝද් භානුක යාපනය කණ්ඩායම ජයග්‍රාහී මාවතටය රැගෙන යෑමට සමත් විය. එහිදී මිනෝද් භානුක පන්දු 25කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. යාපනය ස්ටැලියන්ස් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කදී හයේ පහර 5ක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 84ක් වාර්තා කළේය.
ලකුණු තත්ත්වය
ගාල්ල පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 170 යි. (ධනුෂ්ක ගුණතිලක 56, අශාන් අලී 29, අසාම් ඛාන් 25, චැඞ්වික් වෝල්ටන් 31, තිසර පෙරේරා 29/1, ෂින්වරි 44/1, ධනංජය ද සිල්වා 27/1, සුරංග ලක්මාල් 18/1 යි.)
යාපනය පන්දුවාර 19.4කදී කඩුලු 5ක් දැවී ලකුණු 174යි (අවිශ්ක ප්‍රනාන්දු 84 , ටොම් මොරිස් 11, මිනෝද් භානුක 40, තිසර පෙරේරා 09 , වනිදු හසරංග (නොදැවී) 17, අසිත ප්‍රනාන්දු 30/2)