තිලංගගේ ක‍්‍රිකට් තහනමෙන් ජයන්ත ධර්මදාස ගොඩ යයි

ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවේ අඩංගු කරුණු සැලකිල්ලට ගෙන හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කිසිදු කටයුත්තකට සම්බන්ධවිය නොහැකි ලෙස ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පැනවූ තහනමත් සමග විධායක කමිටුවට ජයන්ත ධර්මදාස මහතා පත්වීමට නියමිතව තිබේ.
තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ක‍්‍රිකට් සම්බන්ධ කිසිදු රැස්වීමකට සහභාගි වීම, ඒ සදහා වාඩි වී සිටීම හෝ ඡන්දය ප‍්‍රකාශ කිරීම, බලතල ක‍්‍රියාත්මක කිරීම සහ වැලැක්වීමට අනුබල දීම යන කරුණු තහනම් වී තිබේ. ඒ අනූව ක‍්‍රිකට් විධායක කමිටුවට නියෝජනය කිරීමේ අවස්ථාවද තිලංග සුමතිපාල තහනම් වී තිබේ.
පිළියන්දල ක‍්‍රීඩා සමාජයෙන් වාර්තා වූ විරෝධතාවක් හේතුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් අදාළ පරීක්ෂණය පැවැත්වීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදී. එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මුතුගලද ලේකම් වශයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරී ශිරෝමී රණවක මහතා සහ විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී එස්.ඩි. පියදාස යන මහත්වරු කටයුතු කරන ලදී.