ගංගුලි අයි.සී.සී.යෙන් වැඩි ගාණක් ඉල්ලයි

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සකස් කරන ලද අට අවුරුදු තරග සැලැස්ම සදහා ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය අසතුටට පත්වෙද්දී අයි.සී.සී.යෙන් වාර්ෂිකව ලැබෙන මුදල සම්බන්ධයෙන්ද ඉන්දියානු නව ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලි අවධානය යොමු කර තිබේ.

සව්රව් ගංගුලි ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්ව පැය 24 ක් ගත වීමටත් පෙර අදාළ යෝජනාව අයි.සී.සී.යට කර තිබේ. ‘‘අයි.සී.සී.යට ලැබෙන ආදායමෙන් 70% ක් ලැබෙන්නෙ ඉන්දියාවෙන්.ඒ නිසා අපිට වාර්ෂිකව ලබාදෙන මුදල වැඩි විය යුතුයි. ඒ සම්බන්ධයෙන් මා අවධානය යොමු කරනවා.’’ යැයි සව්රව් ගංගුලි පවසයි.

2023 සිට 2031 දක්වා අයි.සී.සී.ය විසින් අට අවුරුදු ක‍්‍රිකට් තරග සැලැස්මක් ඉකුත් සදුදා රැස්වූ ජාත්‍යන්තර ක‍්‍රිකට් මහා සභාවේදී යෝජනා කර ඇති අතර ඒ සැලැස්මට අනූව ඉන්දියාවට පාඩුවක් වන බවද සව්රව් ගංගුලි අවධානය යොමු කර තිබේ. කෙසේ වෙතත් අදාළ සැලැස්ම සම්බන්ධයෙන් තීරණ ගෙන ඇත්තේ ඉකුත් ඔක්තෝම්බ් මාසයේ වන අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය සහ අයි.සී.සී.ය අතර සාකච්ජාවක් පවත්වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව සව්රව් ගංගුලි ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඔහු එරට දේශීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ආදායමද වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය. මේ අතර තමා ඉන්දියානු ක‍්‍රිකට් සභාපති වශයෙන් පත්වීමට බලාපොරොත්තුවක් නොවුන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

‘‘මම දැනගෙන හිටියෙ නැහැ ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මම පත්වෙයි කියලා. මොකද මම මීට කලින් කවදාවත් ක‍්‍රිකට් සභාපති ධුරයට තරග වැදිලත් නැහැ.ඒ වගේම පසුගිය වසර තුනක කාලයේදී මම ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් දරලා නැහැ.ඒක සමහරවිට මගේ ප‍්‍රතිරූපයට තරමක් බාධාවක් වෙන්න පුළුවන්.ඒත් හොද දෙයක් කිරීමට මට ඒක හොද අවස්ථාවක්.’’ යැයි ගංගුලි පවසයි.