දෙපිළටම බලාපොරොත්තු ගේන එංගලන්ත – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය අද (13 වැනිදා) සදම්ප්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව මේ විට තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් වී සිටිති.
ලෝක කුසාලන ටෙස්ට් තරගාවලිය යටතේ ක්‍රියාත්මක වන දෙරට අතර තරගාවලියේ අද තරගය දෙපිළටම වැදගත් තරගයක් බවට පත්ව තිබේ. එංගලන්ත කණ්ඩායම මේ වනවිට ලෝක කුසලාන ටෙසට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 266ක් සමගින් තෙවැනි ස්ථානයේ පසුවේ. ඒ අනුව යම් හෙයකින් පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණහොත් ලකුණු 306ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනනේ දෙවැනි ස්ථානයට පත්වන්නට ඔවුන්ට හැකිව ලැබෙන අතර තරගාවලියේ ජය හිමිකර ගැනීමට හැකියාව ලැබේ.
පාකිස්තාන කණ්ඩායමට තරගාවලිය පිළිබඳ තවදුරටත් බලා පොරොත්තු තියා ගැනීමට නම් අද ආරම්භ වන තරගය ජය ගත ජය ගත යුතුම වේ. ඒ අනුව දෙවැනි තරගය සහ තෙැවනි තරගයත් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායමට අවස්ථාව උදාවුවහොත් තරගාවලිය ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා සෙම ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනනේ පස්වැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ඔවුන්ට අවස්ථාව උදා වේ. පාකිස්තාන කණ්ඩායම අදාළ ලකුණු සටහනේ ලකුණු 140ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවන අතර ඔවුනට ඉහළින් ලකුණු 180ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ මේ වනවිට පසුවේ.
කෙසේ වෙතත් දෙරට අතර ඉතිරි තරග දෙකට එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරු බෙන් ස්ටොක්ස් සහභාගි නොවන අතර සිය පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් ඔහු නවසීලන්තය බලා ගොස තිබේ. බෙන් ස්ටොක්ස් වෙනුවට සැක් ක්‍රවුලි කණ්ඩායමට කැඳවීමට බොහෝවිට ඉඩකඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.