බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පැමිණීම ස්ථිරයි

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලත වූ බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව ස්ථිර කර තිබේ. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට සති තුනකට පෙර බංග්ලාදේශයට මෙහි පැමිණෙන බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.
ඉකුත් ජූලි මාසයේදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවට අයත් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන එකඟ විය. නමුත් ලබන සැප්තැම්බර් මස 23 හෝ 24 දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට බංග්ලාදේශය සූදානම් බව එරට ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් සඳහන් කරයි. තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ ගත කරන පළමු සති තුනේ වියදම්ද ඔවුන් දරා ගන්නා බව වැඩිදුරටත් සඳහන් වෙයි.
“මේ සංචාරයේ පළමු සති තුනේ සියලු වියදම් අපි දරා ගන්නවා. ජූලි මාසයේදී තරගාවලිය පැවැත්වීමට තිබුණත් අපිට එන්න තත්ත්වයක් තිබුණෙ නැහැ. දැන් කණ්ඩායම් දෙකම එකම කාලයක් තුළ ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙනවා. ටෙස්ට් තරග තුනක් කියන්නෙ සතුටට කරුණක්. නමුත් පසුගිය මාස පහ තුළ ඔවුන් ක්‍රීඩා කර නැති නිසා එය දුෂ්කර කර්තව්‍යයක් වනු ඇති. මේ සංචාරයේදී කොරෝනා පරීක්ෂණ කිහිපයකට ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට මුහුණ දීමට සිදුවනු ඇති. ඒ සියලු දේ හොඳින් සිදුවේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.”
ශ්‍රී ලංකා රජයේ නීති රීති අනූව මෙරටට පැමිණෙන විදෙස් කණ්ඩායමක් හෝ තනි පුද්ගලයකු දින 14 ක කාලයක් නිරෝධානයට ලක්වීම අනිවාර්්‍ය වේ. ඒ සඳහා හෝටල්ද දැනටමත් සූදානම් කර ඇති බව වාර්තා වේ. මේ තරගාවලියේදී තහනමකට ලක්ව සිටි බංග්ලාදේශයේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වු ෂකීබ් අල් හසන්ද සිය තහනම අවසන් වීමෙන් පසුව තරග වැදීමට සූදානමින් සිටියි. බුකී කරුවන් සමග කළ කතා බහක් වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු පැනවු තහනම ලබන ඔක්තෝම්බර් මස 29 වැනිදා අවසන් වේ. දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ටෙස්ට් තරගාවලියකට පමණක් ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම විස්සයි විස්ස තරග තුනක්ද අදාළ සංචාරයට එකතු කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු පැවසුවේය. “ඇත්ත වශයෙන්ම අපි ටෙස්ට් තරග තුනෙන් යුත් මෙම ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් බව පත්කරමින් විස්සයි විස්ස තරග තුන කෙසේ හෝ පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන සාකච්චා කරමින් සිටියි. නමුත් ඒ සම්බන්ධ තීරණය ඉදිරි සතියේදී ගැනීමට අදාළ පාර්ශ්ශවයන් සැලසුම් කර ඇත.
දෙරට අතර මෙතෙක පවතවා ඇති ටෙස්ට් තරගාවලි ගණන 9 කි. එහිදී ශ්‍රී ලංකාව තරගාවලි අටක් ජය ගනිද්දී බංග්ලාදේශය 2006 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය පමණක් 1 ට 1 ක් වශයෙන් අත්සන් කර තිබේ. නමුත් මෙවර දෙරට මුණ ගැසෙන ටෙස්ට් තරගාවලිය ලෝක ටේස්ට් ශූරතාවට අයත් ටෙස්ට් තරගාවලියකි. එබැවින් මෙතෙක් එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර නොමැති බංග්ලාදේශයට පරාජය කළහොත් ශ්‍රී ලංකාට ආළළ ශ්‍රේණියේ ඉහළ නැගීමට එම ජයග්‍රහණ පිටිවහලක් වනු ඇත.