මෙන්ඩිස් නැගිට පහර දෙයි – පස්වැනි සටනින් ශ්‍රී ලංකා ගොඩ යයි

  • අසේල විතාන

ඔස්ටේ‍්‍රලියාව හමුවේ එක පිට තරග හතරක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාව මෙල්බන් ක්‍රීඩාංගණයේදී (20 දා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට සමත් විය.

ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු හයේදී ලකුණු නවයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාවේ නායක දසුන් ශානක කෙන් රිචඩ්සන්ගේ පළමු පන්දු හතර තුළදී හයේ පහරක් සමග ලකුණු අටක් ලබා තරගය සම කරමින් පිටියෙන් ඉවත් විය. අනතුරුව පැමිණි චාමික කරුණාරත්න මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණක් ලබා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සටහන් කළේය.

පළමු තරග හතරම පරාජයට පත්ව ඇද වැටී තිබූ ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය තවත් මාස අටකින් පමණ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන වෙනුවෙන් යහපත් මානසික සුවයක් වනු ඇත. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග දෙකක් පමණ නූලෙන් පරාජයට පත්වූයේ විටෙක අත්දැකීම් හසුරුවා ගැනීමට නොහැකි වීමෙනි. කෙසේ වෙතත් මෙල්බන් හී සිටින විශාල සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මෙම ජයග්‍රහණය සුවිශේෂී වෙයි.

විනය කඩ කිරීම් සමග ලකුණු අතරට පැමිණීමට නොහැකිව ලත වෙමින් සිටි කුසල් මෙන්ඩිස් කලකට පසුව වැටී තිබූ අස්ථාවරත්වයෙන් නැගිටිමින්, ආරම්භක පිතිකරුවා වශයෙන් පැමිණ ඉනිම අවසානය දක්වා පිති ප්‍රහාරයේ යෙදෙමින්, තමාගේ හය වැනි විස්සයි විස්ස අර්ධ ශතකය ලබා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. මෙන්ඩිස්ගේ සිය ඉනිමට පන්දු 58 ක් වැය වෙද්දී හතරේ පහර 05 ක් සහ හයේ පහරකින් කැන්ගරු පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබුණි.

දිනේෂ් චන්දිමාල් ඇතුළු අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් බංකුවේ තබා නවකයන් වන ජනිත් ලියනගේ සහ කමිල් මිෂාරට විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ලබාදීමට ක්‍රිකට් තේරීම් කමිටුවට කටයුතු කර තිබුණි. 26 හැවිරිදි ජනිත් ලියනගේ ශාන්ත පීතර විදුහල නියෝජනය කර තිබූ අතර කමිල් මිෂාර මහානාම විදුහල නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කර තිබූ අතර ඔහු තවමත් 20 හැවිරිදි වියේ පසුවේ.

කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ඔස්ටේ‍්‍රලියානු නායක ඒරොන් ෆින්ච් තීරණය කළත් ඔහුට පළමු කඩුල්ල ලෙසම පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ළහිරු කුමාර් උඩපන්දුවක් රැක ගැනීමෙනි.

පළමු පන්දුවාර පහ අවසන් වන විට ඔස්ටේ‍්‍රලියානුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. ඒ වන විට ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලම සිය පිති ප්‍රහාරය අවසන් කර තිබුණි. අසරණව සිටි ඔස්ටේ‍්‍රලියානු ඉනිමට මැද පෙළින් මුක්කුවක් දැමූ මැතිව්ස් වේඩ් පන්දු 27 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 43 ක් ලබා ගත්තේය.

ලකුණු පුවරුව
ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 154 යි (ඒරොන් ෆින්ච් 08, ජොස් ඉන්ගිලිස් 23, ග්ලෙන් මැක්ස්වෙල් 29, මැතිව් වේඩ් 43, ළහිරු කුමාර 34/2, දුෂ්මන්ත චමීර 30/2,)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.5 කදී කඩුලු 5ට ලකුණු 155 යි. (පැතුම් නිශ්ශංක 13, කුසල් මෙන්ඩිස් නොදැවී 69, චරිත් අසලංක 20, දසුන් ශානක 35, කෙන් රිචඩ්සන් 28/2 යි.)