ගාල්ල එල්.පී.එල්. අවසන් තරගයට

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම හමුවේ කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වූ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම එල.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (13 වැනිදා) සමත් විය. කොළඹ කණ්ඩායමින් ලැබුණු ලකුණු 151ක අභියෝගය පන්දුවාර 19.5කදී කඩුලු 8ක් පමණක් දැවී පසුකර යමින් අදාළ ජයග්‍රහණය වාර්තා කිරීමට ගාල්ල සමත් විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ගාල්ල නායක භානුක රාජපක්ෂ ඊයේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව එම තීරණයට මැනවින් සාධාරණයක් ඉටුකළ ගාල්ල පන්දු යවන්නෝ කොළඹ පිතිකරුවන් පාළනය කරමින් තරගයේ පළමු භාගයේදී වැඩි වාසි තමන්වෙතට නතු කර ගැනීමට සමත් වූහ.
ලෝරි එවන්ස් ආබධායකට ලක්වීම හේතුවෙන් ඊයේ තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට කොළඹ ආරම්භක පිතිකරු ලෙස ළහිරු උදාර කණ්ඩායමට කැඳවා තිබිණි. ඊයේ දිනයේ නුවන් තුෂාර යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ළහිරු උදාර දවා ගැනීමට සමත් වූ අතර දැවී යන විටදී උදාර ලබා සිටියේ පන්දු 5කට එක් ලකුණක් පමණි. කොළඹ ඉනිමේ බලාපොරොත්තුව බවට පත්ව තිබූ දිනෙෂ් චන්දිමාල්, ඇන්ඩෘ රසල්, සහ ඇන්ජලෝ මැතිව්ස්ට ඊයේ ලකුණු අතරට පිවිසීමට නොහැකි වෙද්දී ගාල්ලට සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූ ඩැනියෙල් බෙල් ඩ්‍රම්මන් පන්දු 53කදී ලකුණු 70ක් රැස් කළේය. එම ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක්ද එක් කිරීමට ඔහු සමත් විය.
මූලික වටයේ පැවැති අවසන් තරගයෙදී වීරයා බවට පත් වූ ක්යිස් අහමඞ් ඊයේ දිනයේදී ලකුණු 8කට දවා ගැනීමට නුවන් තුෂාර සමත් විය. ඉසුරු උදාන පන්දු 11කදී එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 19ක් රැස් කළේය. ගාල්ල ඉනිම අඩපන කළ ලක්ෂාන් සඳකැන් කොළඹ ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර ධනංජය ලක්ෂාන් සහ නුවන් තුෂාර ප්‍රතිවාදි කඩුලු 2 බැගින් බිඳ දැමීය.
කොළතරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක ඊයේ ලකුණු 13කට පිටියෙන් ඉවත් කිරීමට අශාන් ප්‍රියන්ජන සමත් විය. භානුක රාජපක්ෂ පන්දු 17කදී ලකුණු 33ක් වාර්තා කරමින් ගාල්ල බලාපොරොත්තු ඉහළ දැමීමට සමත්වීද ප්‍රියන්ජනගේ පන්දුවක් හමුවේ කඩුලු රකින චන්දිමාල් අතට උඩපන්දුවක් ලබා දෙමින් භානුකගේ දැවී යෑම මත ගාල්ලට නැවතත් පීඩනය එල්ල විය. එම පීඩනයත් කර පින්නා ගනිමින් සටන්කාමී පිති ප්‍රහාරයක් එල්ල කළ ධනංජය ලක්‍ෂාන් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් ගාල්ල ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 23ක් පමණක් වැය වූ එම ඉනිමට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.
මේ අතර ඊයේ තරගයට පෙර අදහස් දැක්වූ කලම්බු කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස්, ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටීමට හැකි වුවද හෙට තරගය පැරදුනද තම කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවන බවත් එම තත්ත්වය මත මෙම තරගය තමන් ඇතුළු කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දෙන බවද සඳහන් කර සිටියේය. “අවසන් පූර්ව තරගයකට ක්‍රීඩා කරනවා කියන්නේ ඕනෑම කණ්ඩායමකට ලොකු පීඩයක්. අපි ගෲප් ලීඩර්ස්ලා වුණා කියලා ඒකෙන් කිසිම වාසියක් නෑ. මොකද පළමු වටයේ තරග 8 න් 6 ක් ජය ගත්තත් අද තරගය පැරදුණොත් අපිට ගෙදර යන්න වෙන නිසා. ඒ නිසා අයි.පී.එල්. තරගාවලියේ වගේ ක්‍රමවේදයක් එල්.පී.එල්. තරගාවලියේ අවසන් වටයේදිත් ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් හොඳයි’ යැයි මැතිව්ස් වැඩි දුරටත් කියා සිටියේය.
ලකුණු තත්ත්වය
කොළඹ කිංග්ස් පන්දුවාර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 150යි (දිනේෂ් චන්දිමාල් 14, ඩැනියෙල් බෙල් ඩ්‍රම්මන් 70, ඇන්ජලෝ මැතිව්ස් 06, ඇන්ඩෲ රසල් 11, අශාන් ප්‍රියන්ජන 05, තික්ෂිල ද සිල්වා 06, ක්යිස් අහමඞ් 08, ඉසරු උදාන 19, ලක්ෂාන් සඳකැන් 32/3, ධනංජය ලක්ෂාන් 27/2, නුවන් තුෂාර 27/2, සහන් ආරච්චිගේ 21/1, ෂෙහාන් ජයසූරිය 16/1)
ගාල්ල ස්ටැලියන්ස් පන්දුවාර 19.5දී කඩුලු 8ක් දැවී ලකුණු 151යි (ධනුෂ්ක ගුණතිලක 13, භානුක රජපක්ෂ 33, අසාම් ඛාන් 21, ෂෙහාන් ජයසූරිය 22, ධනංජය ලක්‍ෂාන් (නොදැවී) 31, අශාන් ප්‍රියන්ජන 42/2, තික්ෂිල ද සිල්වා 2/1, ඇන්ජලෝ මැතිව්ස් 17/1, දුෂ්මන්ත චමීර 36/1, ක්යිස් අහමඞ් 27/1)