දකුණු අප්‍රිකානු සංචාරයෙන් හතුරුසිංහ විසි වෙයිද…

කෝසල ගමගේ
දිගින් දිගටම අසාර්ථක වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ එළඹෙන දකුණු අප්‍රිකාණු සංචාරයේදී ඉවත් කොට ඒ වෙනුවට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පත් කිරීමේ සූදානමක් ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග මගින් වාර්තා වේ.
මහේල – සංගක්කාර යුගළය සමුගැනීමෙන් අනතුරුව කණ්ඩායමේ ඇතිවූ පසුබෑම මග හරවා ගැනීම සදහා ඇති එකම විසදුම පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් කිරීම යැයි එවකට බොහෝ දෙනාගේ ඉල්ලීම වූ බැවින් ලොව වැඩිම වැටුපක් ලබා දෙමින් පුහුණුකරු ලෙස හතුරුසිංහ මහතා පත් කෙරිණි.
කෙසේවෙතත් හතුරුසිංහ මහතා බදවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතකට පිවිසෙතැයි වූ කාගේත් බලාපොරොත්තු සුන් කරමින් මේ දක්වාත් කණ්ඩායම දිගින් දිගටම අන්ත පරාජයන්ට ලක්වෙමින් ‌බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇත. තවද කණ්ඩායමේ බෙදීම් ඇති කරමින් තමන්ගේ පුද්ගලික අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ඇතැමුන් උත්සාහ දැරීම හේතුවෙන් කණ්ඩායම මෙම ඉරණමට ගොදුරු වී ඇති බවද මේ වනවිට කථාබහක් ඇතිව තිබෙ.
තත්ත්වය එසේ තිබියදී අවිශ්ක ගුණවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පසුගියදා අයර්ලන්ත ඒ කණ්ඩායම පරදා තරග 5-0 ක් ලෙස එක්දින තරගාවලියක් ජය ගනිමින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබූ අතර එහිදී නවක ක්‍රීඩකයන් රැසක් දස්කම් දක්වා තිබිණි.
ඒ අනුව අවිශ්ක ගුණවර්ධන මහතා ඕස්ට්‍රේලියාවට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඔහු එහිදී සාර්තක වුවහොත් බොහෝ විට එළඹෙන දකුණු අප්‍රිකාණු සංචාරයේදී කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගුණවර්ධන මහතාට ලබා දීමට වැඩි ඉඩක් පවතින බවට උක්ත ආරංචි මාර්ග අනුව වැඩි දුරටත් වාර්තා වේ.