සමුගන්නේ චෙන්නායිවලදීයි – මහේන්ද්‍ර සිං දෝනි කියයි

ඉන්දියාවේ බිහිවූ සාර්ථකම ක්‍රිකට් නායකයා වශයෙන් හැඳින්වෙන මහේන්ද්‍ර සිං දෝනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නේ චෙන්නායි නුවරදී පැවැත්වෙන තරගයකදී පමණක් බව පවසයි.
”මම මගේ ක්‍රිකට් දිවිය සැලසුම් කර තියෙනවා. මම අවසන් වරට ක්‍රීඩා කළේ රංචි වලයි. හැබැයි මගේ අවසන් විස්සයි විස්ස තරග චෙන්නායි වලදී පැවැත්වෙනු ඇති. ඒ තරගය තවත් වසරකින්ද වසර පහකින්ද කියන්න මම දන්නේ නැහැ.”
දෝනි ඉන්දියාව වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස ලෝක කුසලාන දිනා දුන් නායකයා මෙන්ම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට ඔසවා තැබීමට සමත් වු නායකයාද වේ. එපමණක් නොව ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් අයිපීඑල් ශූරතා හතරක් දිනා දීමට සමත් වූ දක්ෂ නායකයෙකි.
”මගේ මංගල ටෙස්ට් තරගය අමතක නොවන එකක්. ඒ තරගය පැවැත්වුණෙත් චෙන්නායි වලදී. මම ඉපදුනේ රංචි වල .නමුත් මම පසුව චෙන්නායි පැමිණියා. එතනදී මම බොහෝ දේ ඉගෙන ගත්තා. මා හැසිරෙන ආකාරය කෙසේද යන්න තමිල්නාඩුව මට කියා දුන්නා. ක්‍රීඩා ලෝලීන් මට හොඳ සහයක් දුන්නා. යැයි දෝනි වැඩිදුරටත් පවසයි.