සිම්බාබ්වේ ක‍්‍රිකට් තහනම ඉවතට

සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනයට එල්ල වන රජයේ මැදිහත් වීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිම්බාබ්වේට එරෙහිව පණවා තිබූ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ඊයේ (15) දා තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ප‍්‍රධාන විධායක හමුවූ සිම්බාබ්වේ ක‍්‍රිකට් සභාපති තවෙන්ග්වා මුකලානි සහ එරට ක‍්‍රීඩා අමාත්‍ය ක‍්‍රිස්ටි කවුන්ටි‍්‍ර සිම්බාබ්වේට එරෙහිව පණවා තිබූ ක‍්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තහනම අයි.සී.සී.ය විසින් ඉවත් කර ලදී.

අයි.සී.සී. සභාපති ශෂාන්ක් මනෝහර් අදාළ තීරණය සම්බන්ධයෙන් මෙසේ පැවසීය. ‘‘සිම්බාබ්වේ ක‍්‍රිකට් යළිත් ස්ථාපනය කරන්න කැපවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ක‍්‍රීඩා ඇමැතිවරයාට මා ස්තුති වන්ත වෙනවා. ඔහු සිම්බාබ්වේ ක‍්‍රිකට් වලට සහය දැක්වීමට උනන්දු බව අපට පැහැදිලියි. ඔහු අයි.සී.සී. කොන්දේසිවලට අනුකූලව වැඩ කරන බවට පොරොන්දු වුණා. ඒ අනූව සිම්බාබ්වේ ක‍්‍රිකට් වලට මුදල් ලබාදීමද ක‍්‍රියාත්මක කරනවා.”