ඉන්දියාවටත් ශ‍්‍රී ලංකාවේ නීතිය ගේන්නැයි අයි.සී.සී.ය ඉල්ලයි

ලොව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවා දෙන්නන්ට දඩුවම් කළ හැකි එකම නීතිය ශ‍්‍රී ලංකාවේ සම්මත කර තිබේ. ඒ අනූව ඉන්දියාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඔට්ටුකරුවන්ගෙන් බේරා ගැනීමට ශ‍්‍රී ලංකාවේ මෙන් නීතියක් එරටට අවශ්‍ය බව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ සම්බන්ධීකාරක ස්ටීව් රිචඞ්සන් පවසයි.
2019 අංක 24 දරණ ක‍්‍රීඩා පනතේ සම්මත වූ නීතිය අනූව ශ‍්‍රී ලංකාවේ තරග පාවා දෙන්නන්ට වසර පහක් හෝ දහයක සිර දඩුවමක් නියම කළ හැකිය. එවැනි නීතියක් නොමැති වීමෙන් තරග පාවා දෙන්නන්ට දිය හැකි උපරිම දඩුවම වන්නේ අයි.සී.සී.ය සහ අදාළ ක‍්‍රිකට් ආයතනයෙන් ලබා දෙන තරග තහනම පමණි.
අයි.සී.සී. දුෂණ විරෝධී ඒකකයේ විමර්ශණ සම්බන්ධීකාරක ස්ටීව් රිචඞ්සන් පවසන මතයට ගරු කරමින් එවැනි නීතියක් ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියකු සහ ආසියානු ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධානියකු වන අජිත් සිං පවසයි. ‘‘මම ස්ටීව්ගේ මතයට එකඟ වෙනවා. ඉන්දියාවේ ඔට්ටු අල්ලන්ට එරෙහිව ඉතාමත් ශක්තිමත් නීතියක් අවශ්‍යයි. එවිට ඉන්දියාවේ කි‍්‍රකට් දුෂණය නවතා ගන්න පුළුවන්.’’
එළැඹෙන වසර තුන ඇතුළත ඉන්දියාවේ ලෝක කුසලාන තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතය. එහි පළමු වැන්න 2021 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියයි. අනතුරුව 2023 වසරේ පැවැත්වෙන පන්දුවාර පනහ ලෝක කුසලාන තරගාවලියද ඉන්දියාවේ තනි සත්කාරකත්වයෙන් පැවැත්වේ. ඒ අනූව ස්ටීව් රිචඞ්සන් ඉන්දියානු රජයෙන්ද ඉල්ලා සිටින්නේ අසල්වැසි ශ‍්‍රී ලංකාවවේ සකස් කර ඇති තරග පාවාදීමට එරෙහි නීතියක් නිර්මාණය කිරීමට සලකා බලන ලෙසයි.
‘‘ඉන්දියාවට ගෝලීය වශයෙන් වැදගත් තරගාවලි දෙකක් ඉදිරියේදී පවත්වන්න තියෙනවා. මේ වන විට කිසිදු නීතියක් සම්පාදනය කරලා නැහැ තරග පාවා දෙන්නන්ට එරෙහිව. අපි ඉන්දියානු පොලිසිය සමග හොඳ සබඳතාවකින් මේ සම්බන්ධව වැඩ කරනවා. නමුත් ඔවුන් ක‍්‍රියාත්මක වන්නේ එක් අතක් පිටුපසට බැඳ තබාගෙන. දුෂිතයන් නැති කරන්න අපිට පුළුවන් සෑම දෙයක්ම අපි කරන්නෙමු. නමුත් ඒ දේවල් නිදහසේ ක‍්‍රියාත්මක වීම වැලැක්වීමට අපිට දුෂ්කරතා තියෙනවා. නමුත් නීති සම්පානය කළොත් ඉන්දියාවේ ක‍්‍රීඩාව වෙනස් වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි සමග දැනට පරීක්ෂණ 50 ක් පමණ තියෙනවා. ඒවායින් බහුතරයක් ඉන්නෙ ඉන්දියාව තුළයි. ඒ නිසා වඩාත් ඵලදායි වන්නේ ඒ සඳහා නීතියක් සම්පාදනය කිරීමයි.’’ යනුවෙන් රිචඞ්සන් පවසයි.
ඉන්දියානු පොලිසියට වරදකරුවන් අට දෙනෙක් නිසැකවම භාරදීමේ හැකියාව රිචඞ්සන් සතුව තිබුණද නීතියක් නොමැති වීමෙන් එසේ කිරීමෙන් වැඩක් නොමැති බව ඔහු පවසයි. ‘‘මට ඇත්ත වශයෙන්ම ඉන්දීය පොලිසියට හෝ ඉන්දීය රජයට අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙක් වැරදිකරුවන් කියලා භාර දෙන්න පුළුවන්. ඔවුන් නිරන්තරයෙන් ක‍්‍රීඩකයන් වෙත පැමිණ ඔවුන්ට වැරදි කිරීමට උත්සහ කරවන අය. ඉන්දියාවේ නීතියක් නොමැති නම් පොලිසියට ඒ සම්බන්ධව කළ හැකි දේ සීමිතයි.’’
කෙසේ වෙතත් ඉන්දියානු දේශීය තරගවලදී ඔට්ටු අල්ලන් සංඛ්‍යාව වැඩි බවද අයි.සී.සී.ය විසින් සොයාගෙන තිබේ. අයි.පී.එල්. තරගාවලියේදී යුරෝ මිලියන 20 ක් හෝ පවුම් මිලියන ගණන්වලට ඔට්ටු අල්ලනවා විය හැකියි. නමුත් කුඩා තරගවලදී පවා ඔට්ටු ඇල්ලීමේ ප‍්‍රමාණය වාර්තාවන අන්දමට ඉතා ඉහළ බවද සඳහන් වේ.
දැනට ඉන්දියාවේ ඇති ඔට්ටු අල්ලන්ට එරෙහි වන නීතිය සකසා ඇත්තේ 1867 දීය. ඒ සම්බන්ධයෙන් සිං පවසන්නේ, අපි ඔට්ටු ඇල්ලීමට එරෙහිව ශක්තිමත් නීතියක් සකස් කළ යුතුයි. මේ වන විට පවතින නීතිය අනූව ඉන්දියානු රුපියල් 200 ක හෝ 500 ක දඩයකින් ඒ නඩුව ඉවර වෙනවා.’’