ශ‍්‍රී ලංකාවට පැමිණීම ගැන ඉන්දියාව දෙවරක් හිතයි

ශ‍්‍රී ලංකාව සමග එක්දින සහ විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට මෙම ජුනි මස අගදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු කණ්ඩායමට අදාල තරගාවලියට සහභාගි වීම සම්බන්ධව තීන්දුවක් ගැනීමට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබේ.
මෙම ජුනි මසදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු ඉන්දියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තවත් සතියක් හෝ දෙකකින් කල් දැමීමට සිදුවුවද තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ධනාත්මකව සිටින බව ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
‘‘ඉන්දියාව එන එක ගැන තවම ස්ථිර කරන්න බැහැ. ඒ අයත් එක්ක අපි සාකච්ඡුා කරමින් ඉන්නෙ. තවම ඉන්දියාව මේ තරගාවලිය කල්දාලා නැහැ. ඒ අය එන එක ගැන ස්ථිර තීන්දුවක් ගන්න තවත සතියක් වගේ කල් ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාව එයි කියලා. නමුත් තවම ඒ ගැන හරියටම කියන්න බැහැ.’’
ඉන්දියානු කණ්ඩායම එක්දින තරග තුනට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔවුන්ට මේ දිනවල ඇති ලොකු අර්බුදය වන්නේ කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් එක්ව පුහුණු ව ආරම්භ කිරීමට හැකියාවක් නොමැති වීමයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගි ජුනි 01 වැනිදා සිට 13 දෙනෙකුගෙන් සමන්විත කඳවුරක් දින 12 ක නේවාසික පුහුණුවක් ආරම්භ කළ අතර අනෙක් පිරිස ලබන 13 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඉකුත් මාර්තු මසදී එංගලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලියද පුහුණු තරගවලට පමණක් සීමා වූ අතර ඔවුන් කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය කල්දමා යළිත් සිය රට බලා පිටත් විය. නමුත් එම තරගාවලිය ලබන ජනවාරි මස පැවැත්වීමට දෙරටේ ක‍්‍රිකට් ආයතනය තීන්දුකර තිබේ. කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම මෙම මස හෝ ලබන මසදී ශ‍්‍රී ලංකාවට නොපැමිණියහොත් මූල්‍යමය අතින් ශ‍්‍රී ලංකාවට ගැටලූවක් නොවන බව ක‍්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා පෙන්වා දෙයි.
‘‘ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර තියෙන තරගාවලිය අයි.සී.සී. දින දර්ශනයේ තියෙන එකක්. ඒ තරගාවලිය 2023 දක්වා වලංගුයි. යම් හෙයකින් මේ පාර ගහන්න බැරි වුණොත් ඉදිරි කාලයේදී ඔවුන් අනිවාර්්‍යයෙන්ම මෙහි එනවා. කොහොම වුණත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නීතිරීති සහ අපේ රජයේ නීති රීති මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති අනූව තමයි අපි තරගාවලිය පවත්වන්නේ. ඉන්දියානු කණ්ඩායම තරගාවලියට පෙර දින 14 කට කලින් පැමිණ නිරෝධායනය විය යුතුයි. ඒ කාලයේදී ඔවුන්ට පුහුණුවීම් කරන්න පුළුවන්. හැබැයි එකම ක‍්‍රීඩාංගණයක තමයි ඔවුන්ට ඒ කටයුතු කරන් වෙන්නෙ.’’
කොරෝනා වසංගතය ඉන්දියාවේ ශීග‍්‍රයේ ව්‍යාප්ත වීමත් සමග එරට විවිධ ප‍්‍රාන්තවල සිටින ක‍්‍රීඩකයන් එක් රොක් කර ගැනීම දුෂ්කර කර්තව්‍යයක් බව ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය පවසයි. කෙසේ වෙතත් ඔවුන් මෙම මස අවසන් වීමට පෙර කණ්ඩාම් පුහුණුව ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ.
‘‘ජුනි මස අග වන විට අපට යමක් දැන ගැනීමට හැකි වනු ඇති. ක‍්‍රීඩකයන් යළිත් පිටියට පිවිසීමට බලා ඉන්නවා. දැන් ක‍්‍රීඩාව නැවතිලා ගොඩක් කල් ගතවෙලා. නමුත් මේ වන විට අපි නැවත එය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමට එකතු වෙලා කටයුතු කරනවා.’’යයි ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව් දෙලක්ෂ පනස් දහසක (250,000* ඉක්මවා ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එම තත්ත්වය හේතුවෙන් ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ව එක්කිරීමට ඉන්දියානු කි‍්‍රකට් ආයතනයට නොහැකිව තිබේ.