අවිශ්ක සහ තිසරගේ අර්ධ ශතක වලින් ජැෆ්නා ගොඩ යයි

එල්පීඑල් තරගාවලියේ හත්වැනි තරගය වශයෙන් පැවැති ජැෆ්නා සහ කැන්ඩි අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට තිසරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ජැම්නා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23 කදී හයේ පහර හතක් සමග ලකුණු 53 ක් ලබා ගනිද්දී එකදු හතරේ පහරක්වත් ඔහු විසින් එල්ල කිරීම විශේෂත්වයකි.
අංක හතර පිතිකරු වශයෙන් පැමිණි තිසර පෙරේරා කලකට පසු සුපුරුදු කස හරඹය ක්‍රියාත්මක කරමින් පන්දු 21 කදී හයේ පහර හයක් සහ හතරේ පහර දෙකක් සමග තරගාවලියේ පළමු අර්ධ ශතකය (53) වාර්තා කරමින් සිය කණ්ඩාමේ මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට ලකුණු 186 දක්වා ඉහළ දැමීය. විදෙස් ක්‍රීඩකයන් වශයෙන් ක්‍රීඩා කළ ෂොයිබ් මලික් පන්දු 10 කදී නොදැවී ලකුණු 16 ක් ලබා ගත් අතර රහමුල්කා ගුරුබාස් සහ ටොම් කෝලර් අසාර්ථකත්වයට පත්විය.
පන්දු යැවිමේදී කැන්ඩි පිල වෙනුවෙන් ෂිරාස් අහමඩ් (22/3) සාර්ථකත්වයට පත්විය.
වර්ෂාව හමුවේ පන්දුවාර 14 කට කැන්ඩි ඉනිම සීමා වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. එහිදී කෙනර් ලිවිස් පන්දු 36 කින් ලකුණු 41 ක්ද චරිත් අසලංක පන්දු 19 කදී හයේ පහර පහක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 42 ක්ද ලබා ගත්තේය. රොවමන් පවෙල් පන්දු 19 කදී හයේ පහර හතක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 61 ක් ලබා ගත්තේය.