අප්කන්ට්‍රි පිලෙන් බකට් එකක්

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සහභාගි වූ තරග හතරම ජය ගෙන අපරාජිතව සිටින සී හෝක්ස් පිලට (නාවික හමුදා ක්‍රීඩා සමාජයට) එරෙහිව අප්කන්ට්‍රි ලයන්ස් පිලෙන් ලිඛිත විරෝධතාවක් ගොනු වෙයි. සී හෝක්ස් හා අපකන්ට්‍රි ලයන්ස් අතර පැවැති තරගයේදී සී හෝක්ස් පිලට අනිවාර්යයෙන් ක්‍රීඩා කළ යුතු වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩකයා වෙනුවට තරගය අතරතුරදී වයසින් වැඩි ක්‍රීඩකයකු එක් කිරීම නීති විරෝධී බවට චෝදනා ගොනු කරමින් මේ විරෝධතාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන තරග කමිටුවට ඉදිරිපත් කොට ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් සී හෝක්ස් පිල ගෝල් 1-0ක ජයක් හිමි කර ගෙන සිටි අතර එම ප්‍රතිඵලය අවලංගු කොට ජයග්‍රහණය තම කණ්ඩායමට දිය යුතු බව අපකන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයේ ඉල්ලීම වේ. එම ඉල්ලීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව පිළිගත හොත් අප්කන්ට්‍රි ලයන්ස් පිල ලකුණු 10ක් සමඟ ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙනු ඇත. අදාළ තරගයේදී මිනිත්තු 26ක් වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩකයා ක්‍රීඩා කොට ඇති අතර ඒ වෙනුවට ආදේශ වූ වයසින් වැඩි ක්‍රීඩකයා තරගයේ 72 වැනි මිනිත්තුව දක්වා ක්‍රීඩා කළේය. පසුව එම වයසින් වැඩි ක්‍රීඩකයා ඉවත් කොට 21න් පහළ ක්‍රීඩකයකු යළිත් ආදේශ කොට තරග නිමාව දක්වා සිටියේය.

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ තරග කොන්දේසි අනුව තරගය ක්‍රියාත්මක සෑම අවස්ථාවකදීම වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩකයකු ක්‍රීඩා පිිටියේ රැඳී සිටීම අනිවාර්ය බව අප්කන්ට්‍රි ලයන්ස් පිල සිය විරෝධතාව මඟින් දැනුම් දී තිබේ.

කොරෝනා අර්බුද මැද ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් නිමා කොට ඇති අතර සී හෝක්ස් සියලු තරග ජය ගෙන ලකුණු 12ක්, රෙඩ් ස්ටාර් තරග දෙකක් ජය ගෙන තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා කොට ලකුණු 8ක්, බ්ලූ ස්ටාර් තරග දෙකක් ජය ගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරගයක් පරාජය වී ලකුණු 7ක්, කොළඹ පාපන්දු සමාජය තරග දෙකක් ජය ගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරගයක් පරාජය වී ලකුණු 7ක් හා ඒ හා සමාන ප්‍රතිඵලයකින් අප්කන්ට්‍රි ලයන්ස් පිල ද ලකුණු 7ක් හිමි කර ගෙන සිටී.

ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) ක්‍රීඩා සමාජය තරගයක් ජය ගෙන තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කොට තරගයක් පරාජය වී ලකුණු 5ක් ගෙන සිටින අතර වෙන්නප්පුව නිව්යංග්ස් තරග 3ක් පරාජය වී ලකුණු 3ක් හිමි කර ගෙන සිටී. රත්නම්, රිනවුන් හා බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව) මෙතෙක් සහභාගී වූ කිසිදු තරගයක් ජය ගෙන නැත.

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සෑම කණ්ඩායමකටම තවත් තරග 5 බැගින් ඉතිරිව ඇති අතර ජනවාරි මස මැද භාගයේදී තරගාවලිය නිමා කිරීමට සැලසුම් කොට ඇත.