තිසරගේ ප්‍රහාරයෙන් යාපනයට ජය

තිසර පෙරේරාගේ ප්‍රහාරාත්මක පිති ප්‍රහාරය හමුවේ ජවය ලද යාපනය කණ්ඩායම  (30 දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දඹුල්ල කණ්ඩායම ලකුණු 66 කින් පරාජය කරමින් එල්.පී.එල්. තරගාවලියේ ඔවුන් ලද දෙවැනි ජය වාර්තා කිරීමට සමත් විය.
දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට හති වැටෙන ඉලක්කයක් ලබාදීමේදී යාපනය පන්දු යවන්නන් වූ උස්මන් ෂින්වරි, බිනුර ප්‍රනාන්දු සහ තිසර පෙරේරා කඩුලු හතක් බෙදා ගනිමින් යාපනය කණ්ඩායම ඔසවා තැබීමට සමත් විය. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් යාම්තාක් දුරට හෝ සාර්ථක වූ සමිත් පටෙල් පන්දු 22 කදී ලකුණු 41 ක්ද නායක දසුන් ශානක පන්දු 21 කදී ලකුණු 35 ක්ද ලබා ගත්තේය.
කාසියේ වාසිය සමග පළමුව පන්දු යැවීම ආරම්භ කළ දසුන් ශානකගේ නායකත්වයේ යුත් දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පළමු පන්දුවාර ඉතාමත් පාලනයකින් යුතුව පන්දු යවමින් ලකුණු 36 ක් තුළදී යාපනය කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.
පළමු තරගයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු (03) පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට ළහිරු කුමාර සමත් විය. අනතුරුව මිනෝද් භානුක (6) ටොම් මොරිස් (6) සහ ධනංජය ද සිල්වා (16) අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් පීඩයකට පත්වු යාපනය කණ්ඩායමට නායක තිසර පෙරේරාගේ ආගමනයත් සමග සැනසුම් සුසුම් හෙළීමට අවකාශ ලැබුණි.
මෙම තරගාවලියේ තෙවැනි වරටත් ලකුණු 200 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම බවට යාපනය කණ්ඩායම පත්වෙද්දී තිසර පෙරේරා පන්දු 44 කදී හයේ පහර හතක් සහ හතරේ පහර අටක් සමග නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තේය. ළහිරු කුමාර යැවූ තරගයේ 19 වැනි පන්දුවාරයට පිළිවෙලින් 4, 4, 6, 6, 6, 4 වශයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 30 ක් උදුරා ගැනීමට තිසර පෙරේරා සමත් වු අතර එය මෙම තරගාවලියේ එක් පන්දුවාරයකදී ලද වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.
පළමු පන්දුවාර නවය අවසන් වන විට යාපනය කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 64 ක් ලබා සිටියද අවසන් පන්දුවාර 11 දී තිසර පෙරේරා දියත් කළ ප්‍රහාරය හේතුවෙන් තවත් ලකුණු 154 ක් උදුරා ගැනීමට සමත් විය. එහිදී තිසර සහ වනිඳු හසරංග පන්දු 21 කදී ලකුණු 64 ක සබඳතාවක් එක් කිරීමටද සමත් විය.
ලකුණු තත්ත්වය
යාපනය ස්ටැලියන්ස් පන්දුවාර 20 කදී කඩුලු 7ට ලකුණු 218 යි. (අවිශ්ක ප්‍රනාන්දු 04, මිනෝද් භානුක 06, ටොම් මොරිස් 05, ධනංජය ද සිල්වා 16, ෂොයිබ් මලික් 23, චතුරංග ද සිල්වා 29, තිසර පෙරේරා (නොදැවී) 97, වනිඳු හසරංග 24, බිනුර ප්‍රනාන්දු (නොදැවී) 08, ළහිරු කුමාර 63/1, රමේෂ් මෙන්ඩිස් 25/1, අන්වර් අලී 46/1, සමිත් පටෙල් 26/2, අෆ්ටාබ් අලාම් 22/1 යි.)
දඹුල්ල වයිකින්ස් පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී ලකුණු 152 යි. (නිරෝෂන් දික්වැල්ල 20, පවුල් ස්ට්‍රලින්ග් 02, උපුල් තරංග 15, සමිත් පටෙල් 41, දසුන් ශානක 35, අන්වර් අලී 21, ළහිරු මධුෂංක 00, රමේෂ් මෙන්ඩිස් 10, උස්මන් ෂින්වරි 16/3, බිනුර ප්‍රනාන්දු 41/2, තිසර පෙරේරා 23/2, වනිඳු හසරංග 24/1 යි.)