නායකත්වය වැට උඩ තිබුණත් මාලිංග තනි අතින් කණ්ඩායම දිනවන බව කියයි

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ දිගින් දිගටම ලද පරාජයන් හේතුවෙන් විස්සයි විස්ස නායකත්වය වෙනස් විය යුතු බව බොහෝ දෙනා පැවසුවද ලසිත් මාලිංග පවසන්නේ නායකත්වය තිබුණත් නැතත් තමාගේ සේවය අවශ්‍යනම් කණ්ඩායමට ලබා දෙන බවයි.
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය තරග දෙකකින් සමන්විත අතර එහිදී මාලිංගගේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තරගාවලියක් බවට මෙය පත්ව ඇත්තේ ඔහුගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව තරග වැදුන තරග 13 කින් 11 ක්ම පරාජයට පත්වීමයි.
‘‘මම භාර ගත්තේ ශ්‍රේණිගත කිරීම්වල අංක නවයේ හිටපු කණ්ඩායමක්. අපි 2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගත්තට පස්සෙ 2020 වන විට එක දිගට පහළට වැටුණා. ඒ නිසා ක‍්‍රීඩකයන් දැන ගන්න ඕන තමන්ගේ දක්ෂතාව එක දිගට පවත්වාගෙන යන්න. දැන් විස්සයි විස්ස තරගයකදී ලකුණු 200 කට වඩා හැම කණ්ඩායමක්ම ලබා ගන්නවා. ඒ නිසා පිතිකරුවන් දැන ගත යුතුයි පන්දු යවන්නන්ට සටනක් දිය හැකි ලකුණු ප‍්‍රමාණයක් අරන් දෙන්න.’’
‘‘ඒ වගේම එක ලකුණු පනහක් ගහල නවත්තන්නෙ නැතිව දිගටම එය පවත්වාගෙන යන්න පිතිකරුවන් බලා ගන්න ඕන. ඒ කියන්නෙ 50 ක් ගහලා අඩුම ගානේ ඊළඟ තරගයේදී 30 ක්වත් ගහන්න ඕන. අපේ කණ්ඩායමේ තියෙන්නෙ මානසික ප‍්‍රශ්නයක්. ක‍්‍රීඩකයන්ගෙ මානසිකත්වය හදාගෙන කොදෙව් තරගාවලිය හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ රටේ මේ තරගාවලිය තියෙන්නෙ. මට නායකත්වය මේ තරගාවලියෙන් පස්සෙ නැති වුණත් මම ආස කරන්නෙ ක‍්‍රිකට් ගහන්න. තේරීම් කමිටුවට සහ කි‍්‍රකට් ආයතනයට මගෙන් වැඩක් ගන්න අවශ්‍යනම් මම නායකත්වය නැති වුණත් තනි අතින් හරි තරග දිනවන්න මට පුළුවන්.’’ යැයි මාලිංග වැඩිදුරටත් පැවසීය.