සිංහ කැන්ගරු පොඩ්ඩන්ගේ ලෝක කුසලාන සටන අද

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ස්කොට්ලන්තය පරාජය කරමින් ජයග්‍රාහීව ගමන ඇරඹූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (17) ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට පිවිසෙයි.

තරගාවලියේ දෙවැනි වටය සඳහා අද තරගය තීරණාත්මක වී තිබේ. මේ තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තය පරාජය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පිවිසි අතර, ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයට පත් වූයේ සත්කාරක කොදෙව් පිල පරාජය කරමිනි. ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තය පරාජය කළේ ලකුණු 40කිනි. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 218ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ස්කොට්ලන්තයට ඕවර 48.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 178ක් පමණි.

ජැක් ජාවිස් ලකුණු 55ක් රැස් කරමින් ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව ඉක්මවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් ස්කොට්ලන්ත ඉනිම බිඳ දැමූ අතර, ඔහුට අනගි සහායක් දුන් ෂෙවොන් ඩැනියෙල් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 16ක් පමණක් දෙමිනි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේදී ලකුණු 99කට කඩුලු 6ක් බිඳ වැටී තිබියදී පිටියේ එක් වූ සකුණ ලියනගේ සහ රවීන් ද සිල්වා ලකුණු 77ක සබඳතාවකින් ඉනිම සවිමත් කළේය.

පන්දු 85කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 85ක් රැස් කිරීමට සකුණ සමත් වෙද්දී රවීන් ලකුණු 30ක් ඉනිමට එක් කළේය. චමිඳු වික්‍රමසිංහ ලකුණු 28ක් සහ සදීෂ රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළහ. පන්දු යැවීමේදී සීන් ෆිස්චර් ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත් අතර, ජැක් ජාවිස් සහ ඩලිවර් ඩේවිඩ්සන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.