මිකී ආතර් අනාගත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන කතා කරයි

‘‘පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තාන් පිතිකරුවන් ඉක්මනින් ලකුණු ලබා ගත්තා. බාබර් අසාම් සහ අබීඞ් අලී සතුව තියෙන දක්ෂතාව ගැන අපි හොඳින් දන්නවා. නමුත් ඒ තණතීරුවේ දවස් දෙකයි හරියට ක‍්‍රීඩා කරලා තියෙන්නෙ. ඒ නිසා පන්දු යවන්නන්ට සහයක් ලැබුණෙ නැහැ. නමුත් තව ටිකක් ඔවුන්ව පාලනය කරන්න තිබුණා. මේ තණතීරුව ඊට වඩා වෙනස්. ඒ නිසා අපි කඩුලූ 20 ක් දවා ගන්න පුළුවන් පන්දු යවන්නන්ව ක‍්‍රීඩා කරවනවා. කසුන් රාජිතට විවේකයක් අවශ්‍යයි. ඔහුට දැනටමත් අවශ්‍ය ප‍්‍රතිකාර ආරම්භ කරලා තියෙන්නෙ. අසිත ප‍්‍රනාන්දු කණ්ඩායමට එක් වෙලා ඉන්නවා. ඔහුටත් හොඳින් පන්දුව දෝලනය කරන්න පුළුවන්.’’
කණ්ඩායමේ තරුණ ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් මිකී ආතර් වැඩි දුරටත් මෙසේ පැවසීය. ‘‘ගොඩක් තරුණ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් තුළ විවිධ නිපුණතා මට්ටම් තියෙනවා. අපිට දැන් හොඳ පුහුණුකරුවන් කාර්්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගෙන් ක‍්‍රීඩකයන් ප‍්‍රතිලාභයක් ලබනු ඇතැයි මට විශ්වාසයි. අපිට අවශ්‍යව ඇත්තේ ඔවුන්ට අවශ්‍ය හොඳම දේ ලබා දීමයි.’’
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනකු ආබාධ වී සිටියද ළහිරු කුමාර පැයට කි.මී 150 ක වේගයෙන් පන්දු යවන බවත් ඔහු මළල ක‍්‍රීඩයකු මෙන් දිව යන බවත් පැවසූ මිකී ආතර් කුසල් මෙන්ඩිස් පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘මම කුසල් මෙන්ඩිස් ක‍්‍රීඩා කරන අයුරු බලා සිටියා. ඔහු ඉතාමත් හොඳ ක‍්‍රීඩකයෙක් බව දැක්කා. අපිට ඔවුන්ට නිරන්තරයෙන් අවශ්‍ය දේ ලබා දෙන්න පුළුවන් වුණොත් ඔවුන් ඉතාමත් දක්ෂයන් වේවි. මම හැමවිටම බලන්නෙ එවැනි ක‍්‍රීඩකයන්ට වර්ධනය වීමට අවශ්‍ය දේ ලබාදීමටයි. ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය සහ සහය ලබාදුන් විට ඔවුන් ඉදිරියට යාවි. සියලූම ක‍්‍රීඩකයන්ට ඉදිරියට යන්න පුළුවන් ක‍්‍රමවේදයන් සකස් කිරීම තමයි මගේ සැලසුම.’’
ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්ම පාකිස්තාන් කණ්ඩායමද ඊයේ (17 දා* කරච්චි ක‍්‍රීඩාංගණයේදී පැය හතරකට ආසන්න කාලයක් පුහුණුවීම්වලින් සන්නද්ධ විය. ශ‍්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පුහුණු දැල තුළට පිතිකරුවන් දෙදෙනා බැගින් ගෙන ඔවුන්ව අධීක්ෂණයකට ලක් කෙරුණු දක්නට ලැබුණි. එහිදී පළමු ටෙස්ට් තරගය ක‍්‍රීඩා කළ පිතිකරු අනුපිළිවෙලට ඔවුන් පුහුණු දැල තුළදීත් පුහුණුවීම්වල නිරත වූ අතර කසුන් රාජිත වෙනුවට හෙට තරගයට ක‍්‍රීඩා කිරීම සඳහා ලසිත් ඇඹුල්දෙණියව සුදානම් කරමින් සිටින බවට ඊයේ දැක ගත හැකිවිය. ඇඹුල්දෙණියව තණතීරුව මැදට ගත් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ සහය පුහුණුකරු රොමේෂ් රත්නායක පැය භාගයකට ආසන්න කාලයක් ඔහු සමග වැඩ කරනු දක්නට ලැබුණි. ඒ අනුව බොහෝ දුරට කසුන් රාජිතගේ ස්ථානයට ඇඹුල්දෙණිය ක‍්‍රීඩා කරනු ඇත.
ලබන වසරේදී ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර තරගාවලි හතක් පැවැත්වෙන අතර නව පුහුණුකරුවා වශයෙන් ඔබගේ අනාගත සැලසුම් කෙසේදැයි විමසන ලදුව, ‘‘මම තවමත් ක‍්‍රීඩකයන්ව අඳුර ගනිමින් ඉන්නෙ. ඔවුන් කෙසේ ක‍්‍රීඩා කරනවාද යන්න තවම මම නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඔවුන් මට තවමත් අලූත්. නමුත් මම දන්නා දෙය නම් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඉතාමත් දක්ෂයි කියන එක. ඒ අතර ඉතාමත් දක්ෂතා තියෙන ක‍්‍රීඩයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාව ශ‍්‍රී ලංකාවට එන නිසා අපිට අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාව ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකියි.’’
ශ‍්‍රී ලංකාව වසර 27 කින් පාකිස්තානයේදී ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක් පරාජය වී නොතිබුණද කරච්චි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ පරාජයේ මතක සටහන් පමණි. කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ සහභාගි වූ ටෙස්ට් තරග පහකින් හතරක්ම පරාජයට පත්ව තිබේ. නමුත් වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන් කණ්ඩායම්වල වත්මන් සංයුතිය අලූත් වී ඇති බැවින් මෙම තරගයේ වාසිය දෙපිලටම දෝලනය වනු ඇත. පාකිස්තාය කරච්චි ක‍්‍රීඩාංගණයේදී සහභාගි වී ඇති ටෙස්ට් තරග 41 කින් 21 ක් ජයගෙන පරාජය වී ඇත්තේ තරග දෙකක් පමණි එබැවින් පාකිස්තානුවන්ට කරච්චි ක‍්‍රීඩාංගණය ජයග‍්‍රාහී භූමියක් බවට ඉතිහාසයේ පත්ව තිබුණද එය වෙනස් කිරීමට දිමුත් ප‍්‍රමුඛ බල ඇණිය දැඩි අදිටනකින් තරග කළ යුතු වේ.
පාකිස්තානයට කරච්චි ක‍්‍රීඩාංගණය වාසිදායක බවට ඉතිහාසයේ ලියැවී තිබුණද ඒවා එතරම් ගණන් ගත යුතු නැති බව ශ‍්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසයි. ‘‘පාකිස්තානයේ මම අවුරුදු තුනක් පුහුණුකරුවකු වශයෙන් සේවය කළා. ඒ හිටපු හැම මිනිත්තුවක්ම මට විශේෂයි. නැවතත් පාකිස්තානයේ ටෙස්ට් ක‍්‍රීඩා කරන්න ඇවිල්ලා හිටපු පුහුණුකරු විදිහට මම ඔවුන්ගේ ප‍්‍රතිවාදීන්ගේ පුහුණුකරුවෙලා අනිත් පැත්තෙ ඉන්න එකත් විශේෂයි.’’
මේ අතර පාකිස්තාන් පුහුණුකරු මිස්බා උල් හක් සහ පාකිස්තාන් මාධ්‍ය වේදීන් අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී පාකිස්තාන් මාධ්‍යවේදීන් යොමු කළ ප‍්‍රශ්නවලට මිස්බා ලබාදුන් පිළිතුරු වේගවත් විය. ෆාවඞ් අලාම් වසර දහයකට පසුව ටෙස්ට් කණ්ඩායමට ගෙන ආවද ඔහුට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන්ද මිස්බාට යොමු කළ ප‍්‍රශ්නයද මාධ්‍ය සාකච්ඡුාව උණුසුම් විය.