සුපිරි ටෙනිස් තරුව ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානයට සමීප වෙයි.! – video

මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා තරඟාවලියේ අවසාන තරඟ කිහිපයට ලඟා වෙමින් පවතින අතර ජ්‍යාත්‍යන්තර ටෙනිස් පිටියේ ප්‍රභලයින් හට ශූරතා සිහිනය බොඳ කර ගන්නට මෙන්ම කෝඩු කාරයින්ට අලුත් අත්දැකීම් එකතු කර ගැනීමට හැකි තරඟාවලියක් බවට පත්ව තිබේ.

ඊයේ පැවැති අවසන් පූර්ව වටයේ තරඟයෙන් ජපානයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා ලකුණු 6-2 ක් , 4-6 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය. කැරොලිනා ප්ලිස්කෝවා අවසන් පූර්ව වටයට පිවිසියේ ඇමරිකාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකාව වන සේරීනා විලියම්ස් ව පරාජයට පත් කරමින්‍ ය.

21 හැවරදි නයෝමි ඔසාකා ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකාවගේ වාර්ථාවත් , වසර 4කට පසුව පිට පිට දෙවතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දිනූ පළමු ක්‍රීඩිකාවගේ වාර්ථාවත් අවසාන මහා තරඟයේදී හඹා යනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ. නයෝමි ගිය වසරේදී ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරාජයට පත් කොට ශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය.

සෙරීනා විලියම්ස් 2015 වසරේදී ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවය හා ඊලඟ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාවත් දිනා ගැනීමෙන් පසු පිට පිට ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන දෙකක් දිනා ගැනීමට කිසිදු ක්‍රීඩිකාවක් සමත් වූයේ නැත.

හෙට පැවැත්වෙන (26) අවසන් මහා තරඟයේදී නයෝමි ඔසාකා ගේ ප්‍රතිවාදිනිය බවට පත්ව සිටින්නේද චෙක් රාජ්‍යයට අයත් ක්‍රීඩිකාවක් වන 28 හැවරදි පෙට්රා ක්විටෝවා ය. ඇය මීට පෙර දෙවතාවක්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලාන දෙකක් දිනා ඇති අතර අවසන් මහා තරඟයට ඇය සුදුසුකම් ලැබුවේ ඇමරිකාවේ ඩැනියෙලා කොලින්ස්ව ලකුණු  7-6 ක් සහ 6-0 ක් ලෙස පරාජයට පත් කරමින් ය.

ශේණිගතකිරීම් වල අටවැනි තැන පසුවන ක්විටෝවා මීට පෙර 2012 දී සහ 2014 දී විම්බල්ඩන් ටෙනිස් ශූරතා කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර 2016 වසරේදී තම නිවස තුලට කඩා වැදුණු මංකොල්ල කරුවෙකු හා පොර බැදීම හේතුවෙන් පිහි ඇණුමකටද ලක්ව ටික කලක් ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටියාය. එම සිදු වීමේදී ඇය ටෙනිස් පිත්ත හසුරුවන වම් අතට පිහිපහරවල් කිහිපයක් වැදී තිබූ අතර එවකට ඇයට ක්‍රීඩාවෙන් සමු ගැනීමට සිදුවනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කළහ.

මේ වන විට ජ්‍යාත්‍යන්තර කාන්තා ටෙනිස් ශේණිගතකිරීම් වලට අනුව ජපානයේ නයෝමි ඔසාකා හතරවැනි තැන හා චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවා අට වැනි තැන ලබා සිටින අතර හෙට පැවැත්වෙන අවසන් මහා තරඟයේ ජයග්‍රාහිකාව ලොව අංක එකේ ක්‍රීඩිකාව පත් වනු ඇත.


නයෝමි ඔසාකා


කැරොලිනා ප්ලිස්කෝවා


පෙට්රා ක්විටෝවා


ඩැනියෙලා කොලින්ස්
තරඟයේ විශේෂ අවස්ථා පහතින්
👇

 

සටහන : නුවන් ජයතිස්ස