පාකිස්තානය 100 වැනි ජය සමරයි

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ජයග්‍රහණ 100ක් වාර්තා කළ ලොව පළමු කණ්ඩායම බවට පත්වන්නට පාකිස්තාන කණ්ඩායම සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් වෙමින් සත්කාරක පාකිස්තානය අදාළ වාර්තාවට හිමිකම් කීමට සමත් විය. ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමටද සත්කාරකයෝ සමත්වූහ.
දෙරට අතර අදාළ තරගයට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 163කට ක්‍රීඩා කර තිබූ පාකිස්තානය ඉන් තරග 3ක් සමවෙමින් සහ තරග 2ක් ප්‍රතිඵලයක් නොමැතිව නිමාවට පත් වෙද්දී තරග 99ක් ජය ගැනීමට සමත් වී තිබිණි. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයේ පසුවන අතර පිළිවෙලින් එංගලන්තය, ඔස්ටේ්‍රලියාව සහ ඉන්දියාව එහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානයනවල පසුවේ.
ලාහෝර් හිදී පැවැති අවසන් තරගයේදී කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. එහිදී සුපිරි ඉනිමක් දියත් කළ ඩේවිඩ් මිලර් පන්දු 45කදී නොදැවී ලකුණු 85ක් වාර්තා කළේය. එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක්ද ඇතුළත් විය. ෂහිඩ් මොහොමඩ් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 3ක් සහ මොහොමඩ් නවාස් සමගින් හසන් අලී කඩුලු දෙක බැගින් බිඳ දැමීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 18.4කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේය. මොහොමඩ් රිස්වාන් ලකුණු 42ක් සහ බාබර් අසාම් ලකුණු 44ක් ලබා ගත්තේය.