‘රටට ක‍්‍රීඩා නොකර අයි.පී.එල්. යන්න බැහැ ’ – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියයි

ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් මේ වසර් පැවැත්වීමට සැලසුම් කර ඇති අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් 31 දෙනකුගේ නම් ලැයිස්තුවක් තෝරාගෙන තිබේ. නමුත් අදාළ ක‍්‍රීඩකයන්ට එම තරගාවලියට සහභාගි වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විසින් විශේෂ අවසරයක් ලබාගත යුතුව තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර තරගාවලි රැුසක්ම කල් දැමීමෙන් මෙවර අයි.පී.එල්. තරගාවලියට විදෙස් ක‍්‍රීඩකයන් සම්බන්ධ කර ගැනීම දැඩි අර්බුදයකට ලක්ව තිබේ. අයි.පී.එල්. වෙන්දේසියේදී ක‍්‍රීඩකයන්ට ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් ඇතැම් ක‍්‍රීඩකයන් තමන්ගේ රටට සේවය ලබා නොදී අයි.පී.එල්. යෑමට පෙළඹෙමින් තිබේ.
පසුගිය වසර කිහිපයේදී අයි.පී.එල්. තරගාවලියට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩයන්ගේ නම් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණද එයින් තරගාවලිය නියෝජනය කළේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන පමණි. නමුත් මෙවර හිටි හැටියේම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ වැඩි නම් ලැයිස්තුවක් ඔවුන් ඉදිරිපත් කර තිබේ.
‘‘අපි සමග ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් විදෙස් තරගාවලිවලට සහභාගි වනවානම් අනිවාර්්‍යයෙන්ම විශේෂ අවසර ලබාගත යුතුයි. විශේෂයෙන් අපිට ක‍්‍රීඩා කරන්න බැරිවුණ තරගාවලි කිහිපයක්ම තියෙනවා මේ වසරේදී ක‍්‍රීඩා කරන්න. කී‍්‍රඩකයනුත් දිගින් දිගටම ආබාධවලට ලක්වෙනවා. අයි.පී.එල්. වැනි තරගාවලිවලදී අත්දැකීම් ලැබෙන්න පුළුවන්. නමුත් ඔවුන් ආබාධ වෙනවානම් ඒ තරග ක‍්‍රීඩා කරලා වැඩක් නැහැ. අපි තාක්ෂණික ක‍්‍රිකට් කමිටුවත් සමගත් මේ ගැන සාකච්ඡුා කරනවා. කොහොම වුණත් රටට නොගහා විදෙස් රටවල තරගවලට යන්න දෙන්නේ නැහැ.’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.
ලබන 18 වැනිදා චෙන්නායි හිදී අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසිය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා තෝරාගත් ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 1097 කි. ඉන්දියානු ක‍්‍රීඩකයන් 814 ක් සහ විදෙස් ක‍්‍රීඩකයන් 283 ක් වෙන්දේසිය වෙනුවෙන් තෝරාගෙන තිබේ. නමුත් වෙන්දේසියේදී ක‍්‍රීඩකයන් 61 දෙනකු අතරින් 25 දෙනකු තෝරා ගැනීමේ අවස්ථාව හිමිවේ.
අයි.පී.එල්. වෙන්දේසියට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් 31 දෙනාට අමතරව ඇෆ්ගනිස්තාන ක‍්‍රීඩකයන් 30 ක්, ඔස්ටේ‍්‍රලියාවෙන් 42 ක්, බංග්ලාදේශයෙන් 05 ක්, එංගලන්තයෙන් 21 ක්, අයර්ලන්තයෙන් 02 ක්, නේපාලයෙන් 08 ක්, නෙදර්ලන්තයෙන් 01, නවසීලන්තයෙන් 29 ක්, ස්කොට්ලන්තයෙන් 07 ක්, දකුණු අප‍්‍රිකාවෙන් 38ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 09 ක්, ඇමරිකාවෙන් 02, බටහිර ඉන්දීය කොදෙව්වෙන් 56 ක් සහ සිම්බාබ්වෙන් ක‍්‍රීඩකයන් 02 ක් වශයෙන් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතය.