රොවේනා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඔසවා තබන්න සැරසෙයි

ලොව සුපිරි ධාවන ශූරයකු වූ උසේන් බෝල්ට් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කටයුතු කර ඇති ක්‍රීඩා නීතිවේදිනියකු වන රොවේනා සමරසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට ඔසවා තැබීම වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමට ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
රොවේනා මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසියකු වුවද ඇය මේ වන විට එංගලන්තයේ ජීවත් වේ. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් ගමන් ඇන හිට ඇති නිසා ඇයට මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තිබේ. නමුත් අදාළ ව්‍යාකූල තත්ත්වය අවසන් වු සැණින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මෙරටට පැමිණීමට ඇය මහත් උනන්දුවකින් පසුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාවද දැනුවත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙරට ක්‍රීඩාව ඔසවා තැබීම වෙනුවෙන් පත්කරන ලද මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා සභාවේ සිටින එකම ක්‍රීඩා නීතිවේදිනිය වන රොවේනා සමරසිංහ මහත්මිය ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය සහ ක්‍රමවේදයන් සම්බන්ධ අත්දැකීම් බහුලම තැනැත්තිය වශයෙන් හැඳින්විය හැකිය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවට අඩුවක්ව පැවැති මෙවැනි අත්දැකීම් සහිත වෘත්තිකයකු හමුවීමෙන් ලෝකය සමග ඔට්ටුවිය හැකි ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහිකිරීමට මෙරට මලල ක්‍රීඩාවට මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්වලට හැකිවනු ඇතැයි බහුතරයගේ විශ්වාසය වී තිබේ. රොවේනා මහත්මිය වසර ගණනාවක් ලන්ඩන් නුවර ඉහළ පෙළේ නීති ආයතනයක හවුල්කරුවකු වශයෙන් ක්‍රියාකර ඇත. ඇය අලෙවිකරණ, ක්‍රීඩක නියෝජනය කිරීම වැනි කටයුතු එහිදී කර ඇත්තේ ඉහළ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කටයුතු කරමිනි.
ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය සම්බන්ධ ඉහළ දැනුමක් ඇති රොවේනා සමරසිංහ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩාව හරි අතකට තල්ලුකරගෙන යෑම සඳහා අවශ්‍ය දැනුම නොඅඩුව ලබාදීමට ඕනෑ තරම් ජාත්‍යන්තර අත්දැකීම්වලින් සන්නද්ධව සිටීම විශේෂත්වයකි. ලෝව වේගවත්ම කඟවේනා වශයෙන් කිරුළ දැරූ උසේන් බෝල්ට් සමග කටයුතු කරන ආයතනයක රාජකාරී කිරීමද ඇය ලැබු තවත් අත්දැකීමකි.
රොවේනා මහත්මිය ගෝලීය වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය, ජාත්‍යන්තර අනුග්‍රාහකත්වය සහ විකාශන ගිවිසුම් සම්බන්ධව ක්‍රියාත්මකවන විශේෂ කටයුතු වෙනුවෙන් කටයුතු වැඩිදුරටත් කටයුතු කර තිබේ. මීට අමතරව ක්‍රීඩා ආයතන වෙනුවෙන් බිම් මට්ටමේ ගනුදෙනුවල සිට ගෝලීය ක්‍රීඩා දේපල සම්බන්ධ කටයුතුවලද නියැලි තිබේ. ලොව ක්‍රීඩා අධිකරණය පිහිටා ඇති ස්විට්සර්ලන්ත අධිකරණයේද ඇය නීතිවේදිනියකු වශයෙන් කටයුතු කර ඇත.
ක්‍රීඩා හා ශාරීරික ක්‍රියාකාරකම් කළමනාකරණය සඳහා වරලත් ආයතන අධ්‍යක්ෂකවරියක් වශයෙන්ද කටයුතු කර තිබේ. ඇය එක්සත් රාජධානියේ ක්‍රීඩා හා ශාරිරික ක්‍රියාකාරකම් අංශයේ වෘත්තීය සංවර්ධණ ආයතනයේ සහ වෘත්තීය ස්කොෂ් සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවකි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සොයා ගැනීමකට අනුව රොවේනා මහත්මියට ලැබුණු අදාළ තනතුර ඇය විසින් මහත් වු කැමැත්තකින් භාරගෙන තිබේ. ඒ අනූව ඉදිරියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ජාත්‍යන්තරයේ තැනක් ලබාදීම වෙනුවෙන් ඇය කැපී වැඩ කිරිමට සුදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි. ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධනද ඇය සමග දුරකතනය ඔස්සේ කතා බහකරමින් දැනටමත් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමේ මූලික පියවර තබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගම් විසින් විවිධ හේතූන් මත රටවල් තහනම් කරන අවස්ථාවලදී රොවේනා මහත්මියගේ සේවය බොහෝ සේ වැදගත් වේ. 1973 වසරේ සකස් කර ඇති ක්‍රීඩා නීතිය අලුතින් සකස් කිරීමද රොවේනා මහත්මිය කටයුතු කරනු ඇත. ඇය ඉහළ නීති විශාරදයකු වීමට අමතරව ලොෆ්බරෝ විශ්වවිද්‍යාලයෙන් ක්‍රීඩා කළමනාකරණ පිළිබඳ එම්. බී. ඒ. උපාධියද ලබා තිබේ.
වර්තමානයේ ක්‍රීඩා අතරින් විශාලතම අනුග්‍රාහකත්වය වශයෙන් සැලකකෙන ලෝක මලල ක්‍රීඩා උළෙලේ අනුග්‍රාහක ගනුදෙනුව සම්බන්ධව මෙන්ම විකාශනය ගනුදෙනුව සම්බන්ධව සාකච්ඡා කිරීමේ කමිටුවේද රොවේනා මහත්මිය සාමාජිකාවකි. වසර 16 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති රොවේනා මහත්මිය ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධ අළෙවි සහ කළමණාකරන තනතුරු රාශියක් දරා ඇත.