මොන පදක්කම දිනුවත් රන් පදක්කමක් නැතිනම් ජයග්‍රණයෙන් වැඩක් නැහැ – ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්

රිදී සහ ලෝකඩ පදක්කම් කෙතරම් දිනූවද රන් පදක්කමක් දිනා ගන්නා තුරු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් සේ තමන් නොදකින බවත් තමාගේ ධුර කාලයේ ඊළඟ වසර හතරක කාලයක් තුළ ඒ සඳහා තරුණ ක්‍රීඩකයන් සහ පාසල් ක්‍රීඩකයන්ව යොමු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් කියුබාවෙන් නැවතත් පුහුණුකරුවෙකු ගෙන ඒමට තමන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා පවසයි. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් තෙවැනි වතාවටත් නිතරගයෙන් තේරීපත්වීමෙන් අනතුරුව පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ පිළිබඳ කියා සිටියේය.
2004 වසරේදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් ඩයන් ගෝමස් මහතා පළමුවරට තේරී පත්විය. ඒ අනුව 2004 වසරේ සිට 2007 වසර දක්වා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඩයන් ගෝමස් මහතා අනතුරුව 2017 වසරේ සිට මේ දක්වාත් එම තනතුරේ කටයුතු කළේය. පසුගිය 20 වැනිදා පැවැති නිලවරයෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ඉදිරි වසර 4ක කාලය සඳහා සභාපතිවරයා වශයෙන් ඒ මහතා නැවතත් තේරීපත් විය.
2020 සිට 2024 දක්වා ශ්‍රී ලංකාව තුළ බොක්සිං ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් තමාගේ නව සැළසුම් ගැන පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඩයන් ගෝමස් මහතා ‘ශ්‍රී ලංකාවට මුලින්ම රන් පදක්කමක් ගෙනාවේ ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියෙන්. අනතුරුව ඇල්බට් පෙරේර, එඞ්වින් යන අය රිදී පදක්කම් ගෙනාවා. ගිය අවුරුද් අපි පදක්කම් 3ක් දිනුවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බොක්සිං දිනන්න පුළුවන් කියලා අපි ඔබට ඔප්පු කරලා ඉවරයි. හැබැයි මේ ජයග්‍රහණ නියම ජයග්‍රණ නෙමෙයි. එය නියම ජයග්‍රහණයක් වෙන්න නම් අපි රන් පදකක්ම් දිනිය යුතුයි. අසියනු තරගයකින්, පොදා රාජ්‍ය මණ්ඩල තරගයකින් හෝ ඔලිම්පික් තරගයකින් අපි රන් පදක්කම් දිනන්න ඔනේ. ඒනිසා ඉදිරි වසර 4ක කලායේදී අපි ඒ සඳහ ක්‍රීඩකයන් පුහුණු කිරීමේදී පාසල් ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න හිතුවා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ටත්. ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දෙන්න. ඒ වගේම කියුබාවෙන් නැවතත් පුහුණුකරුවෙක් කැඳවලා ක්‍රීඩකයන්ව පුහුණ කරන්නත් මා අදහස් කරන් ඉන්නවා’ යැයි කියා සිටියේය.
ජාත්‍යන්තර තරගවලින් ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් දිනා දීමටf සමත්ව ඇත්තේ මලල ක්‍රීඩා, බොක්සිං සහ බර ඉසිලීමේ අංශයෙනි. ඒ අනුව බොක්සිං ක්‍රීඩාව හරහා 2017 වසරේ සිට මේ දක්වා තරගාවලි 35කදී රන් පදක්කම් 9ක් ර්‍රිදී පදක්කම් 15ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.