මහනුවර පෙරමුණේ…

කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජයීය ලීග් රග්බි පාපන්දු ශූරතාවලියේ තෙවන සති අන්තය නිමාවන විට ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත්ව සිටී.

ඒ ප‍්‍රසාද ලකුණු 18 ක් රැස් කර ගනිමිනි.

ප‍්‍රසාද ලකුණු 17 ක් සමගින් දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සමත් වී ඇති අතර කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය තෙවන ස්ථානයේ පසුවේ. ඒ ප‍්‍රසාද ලකුණු 08 ක් සමගිනි.

මෙතෙක් පැවති තරග ආශ‍්‍රිතව අපරාජිත බව තහවුරු කර ගනිමින් මුහුණ දුන් තරග ත‍්‍රිත්වයම ජය ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජයට සහ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට හැකි විය.

මහනුවර පිල ගෝල් දිනුම් 09 උත්සාහක දිනුම් 06 සහ දඬුවම් පහර 05 ක් මගින් ලකුණු එකතුව සටහන් කර ගෙන ඇති අතර හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 10, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 01 ආශ‍්‍රිතව ලකුණු එකතුව වාර්තා කර ගෙන තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජයට ප‍්‍රසාද ලකුණු 02 ක් හිමි වන අතර වාරයේ මහනුවරට ලැබී ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 03 කි.

සී.ආර්. ඇන්ඩ් එෆ්. සී., ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක් තරඟය බැගින් ජය ගැනීමට සමත් වී ඇති අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. හා පොලීසිය හමුවේ එකදු ජයග‍්‍රහණයක් හෝ සටහන් වී නොමැත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර