ඔස්ට්‍රේලියා පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල අද පළමු විස්සයි20ට

වසර 5කට පසු ඔස්ට්‍රේලියා භූමියේ විස්සයි20 ජයක් සොයා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සිඩ්නි නුවරදී ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන් සමඟ රාත්‍රී පළමු තරගයට එක් වෙයි. අවසන් වරට 2017 වසරේ පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවේදී 2-1කින් විස්සයි20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව 2019 නොවැම්බරයේ පැවැති සංචාරයේදී විස්සයි20 තරගාවලිය 3-0කින් පරාජයට පත්විය. එම තරගාවලියේ සිට මේ දක්වා දෙපිල අතර පැවැති විස්සයි20 තරග 5ම පරාජයට පත් වූ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මේ තරගාවලියට එක්වන්නේ යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත නව කණ්ඩායමක් ලෙසිනි. විශේෂයෙන් මේ වසර අගභාගයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බැවින් මේ තරගාවලිය ශ්‍රී ලංකාවට නව පන්නරයක් ලබාගත හැකි තරගාවලියක් බවට ද පත්වනු ඇත.

කොවිඩ් වසංගතයේ අභියෝගය මැද ඔස්ට්‍රේලියා සංචාරයට එක් වූ ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුවක් වන කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් දින හතක කාලයක් නිරෝධානයේ නිරතවීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බව වාර්තා වේ. ඔහු වෙනුවට කඩුලු රැකීමේ කාර්යභාරය හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට පැවරෙනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ලකුණු අතරේ සිටින යොවුන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මත වැඩි වගකීමක් පැවරෙන අතර, ඔහු නිත්‍ය වශයෙන්ම අද තරගයේදී ඉනිම ආරම්භ කරනු ඇත. ඔහු සමඟ ක්‍රීඩා කරන අනෙක් ආරම්භක පිතිකරු තීරණය කර නැති බව පෙරේදා සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර ද යළි කණ්ඩායමට එක් වී සිටින අතර, පුහුණුවීම් ද ආරම්භ කළ බැවින් අද තරගයට එක් වීමේ වැඩි අවස්ථාවක් පවතී.

පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම සකස් කළ සංයුතිය අද තරගයේදී ද අත්හදා බැලීමට නායක දසුන් ශානක බලාපොරොත්තු වන අතර, ඒ අනුව වේගපන්දු යවන්නන්, තුන්ඉරියව් ක්‍රීඩකයන් සහ දඟපන්දු යවන්නන් දෙදෙනා බැගින් කණ්ඩායමට එක් වනු ඇතැයි සඳහන් වෙයි. තවත් ක්‍රීඩකයන් පස්දෙනකු විස්සයි20 විශේෂඥ පිතිකරුවන් ලෙස එක්වීමට නියමිත බැවින් මේ තරගාවලියේදී සත්කාරක ඔස්ට්‍රේලියානු පිල අපේක්ෂා නොකරන

අභියෝගයක් ශ්‍රී ලංකා පිල වෙතින් එල්ල වනු ඇත. අයිසීසී විස්සයි20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසු වන වනිඳු හසරංග වෙත අද තරගයේදී ඔස්ට්‍රේලියානු පිලේ වැඩි අවධානයක් යොමු වනු ඇත. ඔස්ට්‍රේලියාව වැනි වේගවත් තණතීරු ඇති භූමියක තරග අත්දැකීම් බහුල ශ්‍රී ලංකා පිලේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වේගපන්දු උපදේශකවරයා ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා පිලේ වේගපන්දු බළඈණිය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.

විස්සයි20 වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව සිය භූමියේ පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට සිය දස්කම් මුවහත් කරගැනීමේ අදිටනින් පසු වන බැවින් ප්‍රතිවාදීන්ගේ දස්කම් ඔවුන්ගේ භූමිය තුළ ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වනු ඇත.

ප්‍රහාරාත්මක පිතිකරු ආරොන් ෆින්ච්ගේ නායකත්වය යටතේ අද ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින ඔස්ට්‍රේලියානු පිලේ සංචිතය පෙරේදා නම් කළ අතර පළපුරුදු ක්‍රීඩකයන් රැසක්ම කණ්ඩායමට ඇතුළත් වී සිටිති. කෙසේ වෙතත් ප්‍රබල පිතිකරුවකු වන මිචෙල් මාෂ් මේ තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට අංක 3 පිතිකරු ලෙස ජොෂ් ඉංග්ලිස් අද තරගයෙන් විස්සයි20 තරග වරම් දිනා ගනු ඇතැයි වාර්තා වේ. එමෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත් වූ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද මේ තරගාවලියට ක්‍රීඩා නොකරයි.

ඔහු වෙනුවට බිග්බෑෂ් තරග බිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් පිතිකරු බෙන් මැක්ඩර්මොට් අද තරගයේදී ඉනිම ආරම්භ කරනු ඇතැයිද වාර්තා වේ. ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනය පන්දු යවන්නන්ගෙන් එල්ල වනු ඇතැයි අනුමාන කළ හැකි බැවින් අද තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් වැඩිම වගකීම පැවැරෙනු ඇත්තේ ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් මතය.

ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක පසුගියදා කණ්ඩායමට එක් වී සිටින අතර, ගෝලීය කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තිය හේතුවෙන් දෙපිලම අද තරගයට එක් වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත දැඩි නීතිරෙගුලාසිවලට අනුකූලවය. දෙපිල අතර මේ දක්වා විස්සයි20 තරග 17ක් පවත්වා ඇති අතර, ඉන් තරග 9ක ජය ඔස්ට්‍රේලියාවටත්, තරග 8ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී තිබේ.

අද පස්වරු ශ්‍රී ලංකා වේලාවෙන් 1.40ට ආරම්භ වන මේ තරගය ‘සියත’ රූපවාහිනි නාළිකාව ඔස්සේ සජීවිව විකාශය කෙරේ.