රුසියාවට ඔලිම්පික් ක්‍රීඩා තහනම් පුටින්ගේ කළු පටියත් ගලවයි

 

රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව ලෝක ක්‍රීඩාවේ තහනම් එක පිට එක රුසියාවට එරෙහිව ක්‍රියාත්මක වෙයි. එහි උච්චතම අවස්ථාවක් ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) රුසියාවේ හා යුක්රේනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම රටේ නමින් හා එම රටවල් දෙකේ ජාතික ධජ භාවිතා කරමින් කිසිදු තරගාවලියකට සහභාගී වීමට ඉඩ නොදෙන ලෙස ලෝක ක්‍රීඩා සම්මේලනවලට දැනුම්දී තිබේ.

මේ අතර, ලොව ධනවත්ම ක්‍රීඩා පරිපාලන ආයතනය වන ලෝක පාපන්දු සම්මේලනය මේ වසරේ පැවැත්වෙන කටාර් ලෝක පාපන්දු ශූරතාවලියෙන් රුසියාව ඉවත් කොට ඇති අතර, රුසියා ක්‍රීඩකයන්ට රුසියාවේ නම යටතේ තරග කිරීමට ඉඩ නොදෙන බවත්, එරට ධජය සහ ජාතික ගීය තහනම් කළ බවත් දැනුම්දී තිබේ. එමෙන්ම යුරෝපීය පාපන්දු සම්මේලනය රුසියාවට යුරෝපීය පාපන්දු තහනමක් පනවා ඇති අතර, රුසියානු ජාතික කණ්ඩායමේ සියලු තරග අත්හිටුවීමට තීරණය කොට තිබේ.

අන්තර්ජාතික ටයිකොන්ඩෝ සම්මේලනය රුසියානු ජනාධිපති පුටින් වෙත පිරිනමා තිබූ 9 වැනි ශ්‍රේණියේ කළු පටි සම්මානය වහාම අත්හිටුවා ඇති අතර, ලෝක ජූඩෝ සම්මේලනය පුටින් වෙත පිරිනමා තිබූ ගෞරවනීය සභාපති ධුරය ද අහෝසි කොට ඇත. අන්තර්ජාතික ටයිකොන්ඩෝ සම්මේලනය 2013 නොවැම්බර් මාසයේදී ඔහුට 9 වැනි ශ්‍රේණියේ කළු පටි සම්මානය පිරිනමා තිබූ අතර, ලෝක ජූඩෝ සම්මේලනය 2009 දී ගෞරවනීය සභාපති ධුරය පිරිනැමීය.

ෆෝමියුලා රුසියානු ග්‍රොන් ප්‍රී මෝටර් රථ ධාවන තරග අන්තර්ජාතික තරග බිමේ තහනම් කිරීමට වහාම පියවර ගෙන ඇති අතර, අන්තර්ජාතික බැඩ්මින්ටන් සම්මේලනය (BWF) රුසියාවේ සහ බෙලරුස්හි පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. රුසියාවේ සහ බෙලරූස්වේ ධජ අන්තර්ජාතික බැඩ්මින්ටන් සම්මේලනයේ කිසිදු උත්සවයකදී ප්‍රදර්ශනය නොකිරීමටත්, නැවත දැනුම් දෙන තුරු රුසියාවේ සහ බෙලරූස්වේ ජාතික ගීත ප්‍රචාරය නොකරණ ලෙසත් සියලු රටවලට අන්තර්ජාතික බැඩ්මින්ටන් සම්මේලනය දැනුම්දී ඇත.

යුද වාතාවරණය හේතුවෙන් රුසියාවේ මොස්කව්හී පැවැත්වීමට නියමිතව තිබූ කරාතේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය අහිමි කිරීමට ලෝක කරාතේ සම්මේලනයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කළේය. සියලු කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්‍ෂාව හා ලෝක සාමය උදෙසා අන්තර්ජාතික කරාතේ සම්මේලනයේ විධායක කමිටුව රුසියාවට එරෙහිව ක්‍රීඩා සම්බාධක පැනවිය යුතු බව සියලු රටවලට දැනුම්දී ඇත.

අන්තර්ජාතික චෙස් සම්මේලනය (FIDE) රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ රුසියාවේ සහ බෙලරුස්හි ධජ ප්‍රදර්ශනය කිරීම සියලු තරගවලදී වහාම අත්හිටුවීමට පියවර ගන්නා බවය. අන්තර්ජාතික චෙස් සම්මේලනය සංවිධාන කරන ලෝක තරග ඉසව්වලදී එම රටවල ගීත වාදනය නොකළ යුතු බවත් අවධාරණය කර ඇත. රුසියා හා බෙලරූස් ව්‍යාපාරික සමාගම් සමඟ පවතින සියලු අනුග්‍රාහක ගිවිසුම් අහෝසි කිරීමට අන්තර්ජාතික චෙස් සම්මේලනය පියවර ගෙන ඇත.

රුසියාවේ කසාන් නගරයේදී මේ වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ කනිෂ්ඨ ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය අවලංගු කිරීමට අන්තර්ජාතික පිහිනුම් සම්මේලනය (FINA) තීරණය කළ අතර, යුක්රේන ආක්‍රමණය දිගටම පැවතුණහොත් අනාගතයේදී රුසියාවේ කිසිදු පිහිනුම් ඉසව්වක් නොපැවැත්වීමට තීරණය කොට ඇත. ඉදිරියේදී පැවැත්වීමට සූදානමින් සිටි ලෝක කෙටි දුර පිහිනුම් ශූරතාවලිය ද රුසියාවේ කසාන් නගරයෙන් ඉවත් කර ගන්නා බව අන්තර්ජාතික පිහිනුම් සම්මේලනය පවසා සිටී.

අන්තර්ජාතික අයිස් හොකී සම්මේලනය රුසියාව සහ බෙලරූස් රටවල් සියලු වයස් මට්ටම්වල තරගවලිදී තහනමකට ලක් කොට ඇති අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක කනිෂ්ඨ ශූරතාවලිය වෙනත් ස්ථානයකදී පවත්වන බව සඳහන් කොට සිටී.

අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය රුසියාවේ පැවැත්වෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් හා ඒටීපී ඇතුළු සියලු ප්‍රධාන ටෙනිස් තරග ඉසව් දින නියමයක් නැතිව අවලංගු කර ඇති අතර, ස්වීඩන ජාතිකයන් රුසියාවේ සත්කාරකත්වය දරණ සියලු තරග වර්ජනය කිරීමට යෝජනා කර තිබේ.